කැලණි ගඟ ආශ්රිත පොම්පාගාර වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය (Project for the Improvement of the Pump Station in Kelani River) ක්රියාත්මක කිරීම වෙනුවෙන්, ජපන් රජය මඟින් පිරිනමන ජපන් යෙන් බිලියන 2.179ක (ශ්රී ලංකා රුපියල් බිලියන 4.56ක් හෙවත් කෝටි 456ක පමණ) ප්රදාන ආධාර පැකේජයකට අදාළ නිල ගිවිසුම්වලට ශ්රී ලංකාව සහ ජපානය ඊයේ පෙරේදා (28) අත්සන් තැබීය.
මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය සඳහන් කළේ, දෙරට අතර සංවර්ධන සහයෝගීතාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අමාත්යාංශ පරිශ්රයේදී මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදුවූ බවයි.
දෙරට අතර තානාපති මට්ටමේ ලිපි හුවමාරුවට (Exchange of Notes) ශ්රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ජපන් රජය වෙනුවෙන් ශ්රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (Akio Isomata) මහතා අත්සන් තැබූහ. අනතුරුව ඊට අදාළ ප්රදාන ගිවිසුමට ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ජයිකා (JICA) ශ්රී ලංකා කාර්යාලයේ ප්රධාන නියෝජිත ෂිගෙයෝ හොන්සු (Shigeo Honzu) මහතා අත්සන් තැබූහ.
ජපානයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජයිකා (JICA) ආයතනය මඟින් මෙම ප්රදානය සපයනු ලබයි.
වත්තල සහ පෑලියගොඩට ගංවතුරෙන් සහනයක්
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම සහ අධික වර්ෂාව පවතින කාලවලදී නිතර ගංවතුරට ගොදුරු වන වත්තල සහ පෑලියගොඩ ප්රදේශ ආවරණය වන මුදුන් ඇළ උප ද්රෝණියේ (Mudun Ela Sub-basin) ගංවතුර තත්ත්වයට දිගුකාලීන විසඳුමක් ලබාදීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණයි.
මෙම ව්යාපෘතිය යටතේ තත්පරයකට ඝන මීටර් 15ක ජල ධාරිතාවක් මුදාහැරිය හැකි නවීන පොම්පාගාරයක් ඉදිකෙරෙන අතර, ස්වයංක්රීයව දත්ත රැස්කිරීම සහ පාලනය සිදුකරන නවීනතම ‘ස්කාඩා’ (SCADA) අධීක්ෂණ පද්ධතියක්ද ඊට එක්කෙරේ.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන අවස්ථාවලදී පවා අවට ප්රදේශවල වැසි ජලය කාර්යක්ෂමව කැලණි ගඟට මුදාහැරීමට මෙම නව පොම්පාගාරයට හැකියාව ලැබෙන බැවින්, අවට ප්රදේශයන්හි ගංවතුර අවදානම සහ ජල අපවහන පද්ධතියේ පවතින ගැටලු සැලකිය යුතු ලෙස අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආර්ථිකයට සහ නාගරික ජීවිතයට නව පණක්
නාගරික ජනතාවගේ දෛනික ජීවනෝපාය සහ ආර්ථික ක්රියාකාරකම් ගංවතුරෙන් ආරක්ෂා කිරීම, තිරසාර නාගරික සංවර්ධනයට සහාය වීම මෙන්ම ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම මෙම ව්යාපෘතියේ අරමුණ බව මුදල් අමාත්යාංශය පෙන්වා දෙයි. විශේෂයෙන්ම පෑලියගොඩ ප්රදේශය ප්රමුඛ වාණිජ, ප්රවාහන සහ සැපයුම් මධ්යස්ථානයක් (Logistics hub) ලෙස අඛණ්ඩව සංවර්ධනය වීමටද මෙම යටිතල පහසුකම ප්රබල පිටුවහලක් වනු ඇත.
ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ අධීක්ෂණය යටතේ ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) විසින් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය, ආපදා අවදානම් කළමනාකරණය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ජපානය දක්වන අඛණ්ඩ මිත්රශීලී සහයෝගය මෙම ප්රදානය මඟින් මැනවින් පිළිබිඹු වන බව මුදල් අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


