ක්‍රිකට් පනතේ වගන්ති දෙකක් ව්‍යවස්ථාවට පටහැනියි: සම්මත කරන්න තුනෙන් දෙකක් ඕනෑ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජිත ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතේ’ වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති අතර, අධිකරණය නිර්දේශ කර ඇති පරිදි ඒවා සංශෝධනය නොකරන්නේ නම් පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතරයක් අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නිල තීරණය නිවේදනය කළේය.
අධිකරණ තීන්දුවට අනුව, අදාළ වගන්ති දෙක වත්මන් ස්වරූපයෙන්ම නීතිගත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය. කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇති සංශෝධන ඊට ඇතුළත් කරන්නේ නම්, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කරගැනීමට හැකියාව පවතින බවද අධිකරණය පෙන්වා දී ඇත.
යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව රැසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබේ. මෙම කෙටුම්පතට එරෙහිව පෙත්සම් 33ක් ගොනුකර තිබූ බව කථානායකවරයා මීට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණි.




