ඔක්තෝබර් 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි: සතියේ විවාද කාලසටහන මෙන්න

නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුව, ඔක්තෝබර් 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි අංක 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර තිබේ.

පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.

ඔක්තෝබර් 20 අඟහරුවාදා

පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල් තැබීමේ යෝජනාවක් පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.

ඔක්තෝබර් 21 බදාදා

පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ වන යෝජනාවක් සහ පරිපූරක ඇස්තමේන්තුවක් විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය.

ඉන් අනතුරුව පස්වරු 5.00ට ව්‍යවස්ථාපිත ආයතන පහක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතය.

පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය කල් තැබීමේ අවස්ථාවේදී ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

ඔක්තෝබර් 22 බ්‍රහස්පතින්දා

විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙකක (අංක 79 සහ 80) දෙවැනිවර කියවීම පිළිබඳ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව ව්‍යවස්ථාපිත ආයතන පහක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතය.

පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.

ඔක්තෝබර් 23 සිකුරාදා

ජලභීතිකාව තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම පිළිබඳ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා රජය විසින් ඉදිරිපත් කරනු ලබන කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *