ඔක්තෝබර් 1 වැනිදා සිට ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත “කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය” සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් නව පද්ධතිය පිළිබඳව IMF නියෝජිතයන්ට පුළුල් පැහැදිලි කිරීමක් ලබා දෙන ලදී.
එහිදී කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රී ලංකා රේගුවේ තාක්ෂණික සූදානම සහ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද කරුණු පැහැදිලි කෙරිණි.
මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ලබාදෙන දායකත්වය IMF නියෝජිතයන්ගේ ඇගයීමට ලක්විය.
වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට තමන් සූදානම් බවද IMF නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කළහ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම මහතා සහ එම කාර්යාංශයේ හා ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සාකච්ඡාවට සහභාගී වූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ඩිනර් ප්‍රිහාර්දිනී මහත්මිය සහ ක්ලකෝව් අකේපන්නිට්ටවෝන් මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


