ඇමරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ පිහිටි දුරස්ථ හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් ආසන්නයේදී කුලී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් අටදෙනාම මියගොස් ඇති බව ඇමරිකානු හමුදාව පවසයි.
සිද්ධිය බ්‍රහස්පතින්දා පස්වරු 12.15ට පමණ සිදුව ඇති අතර, ගුවන් යානය Cape Newenham Long Range Radar Site ගුවන් තොටුපොළ වෙත ගොඩබැසීමට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.
මෙම ස්ථානය ඇලස්කාවේ විශාලතම නගරය වන ඇන්කොරේජ් සිට කිලෝමීටර් 725ක් පමණ බටහිරින් පිහිටා ඇති අතර, ගුවන් යානය ඇන්කොරේජ් සිට පිටත්ව තිබූ බව වාර්තා වේ.
ඇලස්කා කලාපයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ (NTSB) ප්‍රධානී ක්ලින්ට් ජොන්සන් පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් හයදෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු සිටි බවයි.
ඇන්කොරේජ් මූලස්ථානය කරගත් ගුවන් කුලී සේවා සමාගමක් වන Security Aviation විසින් මෙම ගුවන් යානය මෙහෙයවා ඇති අතර, එය Cessna 441 වර්ගයේ ගුවන් යානයක් බව වාර්තා සඳහන් කරයි.
ඇලස්කා සෙනෙට් සභික ලීසා මර්කොව්ස්කි අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින්, ඇලස්කාව පුරා තම සංචාර සඳහා Security Aviation සමාගමේ සේවාවන් බහුලව භාවිත කර ඇති බවත් එහි පළපුරුදු ගුවන් නියමුවන් රැසක් හඳුනාගෙන ඇති බවත් පැවසුවාය.
ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය, NTSB, ඇලස්කා ප්‍රාන්ත පොලිසිය සහ Rescue Coordination Center ඇතුළු ආයතන කිහිපයක් අනතුරෙන් පසු මෙහෙයුම් සඳහා එක්වූ බවද ඇය සඳහන් කළාය.
හමුදාවට දැඩි පාඩුවක්
ඇමරිකානු හමුදාවේ Alaskan Command අනුව අනතුරට පත් ගුවන් යානය සිවිල් අංශයෙන් කොන්ත්‍රාත් පදනම මත ලබාගත් ගුවන් යානයකි.
මියගිය පුද්ගලයන් “අභියෝගාත්මක පරිසරයක අත්‍යවශ්‍ය මෙහෙයුමක් ඉටු කරමින් සිටි කැපවූ වෘත්තිකයන්” බව Alaskan Command ප්‍රධානී ලුතිනන් ජෙනරාල් රොබට් ඩේවිස් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, ඇලස්කා ගුවන් කලාපයේ ගමන් කරන ගුවන් යානා නිරීක්ෂණය කරන එම රේඩාර් මධ්‍යස්ථානයේදී අනතුරට පත් පිරිස ඉටු කරමින් සිටි නිශ්චිත රාජකාරි පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
“මෙය අපගේ හමුදා පවුලටත් අප සේවය කරන ප්රජාවන්ටත් දැවැන්ත පාඩුවක්,” යනුවෙන් ඩේවිස් පැවසීය.
මෙම රේඩාර් මධ්‍යස්ථානය Pacific Air Forces Regional Support Center විසින් කළමනාකරණය කරනු ලබයි.


