අලි මාරුවට බාධා කළ ඩ්‍රෝන ක්‍රියාකරුවෙකු අත්අඩංගුවට

වයඹ වනජීවී කලාපයේ ගලගමුව – කාසිකොට ප්‍රධාන මාර්ගය හරහා අලිමංකඩේ ගමන් කරමින් සිටි අලින්ට බාධා වන අයුරින් කාසිකොට අලිමංකඩට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් පියාසර කළ පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඩ්‍රෝන කැමරාවද නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කරමින් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු වරද පිළිගෙන තිබේ.

නඩුව ඉදිරියේදී යළි කැඳවීමට නියමිතය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ කාසිකොට අලි උමං මාර්ගය අසල අලි මාර්ගය හරහා ගමන් කරන ආකාරය නැරඹීම සඳහා විශාල පිරිසක් නිරන්තරයෙන් එක්රැස් වන බවයි.

එහිදී ඇතැම් පුද්ගලයන් අලින්ට බාධා වන ආකාරයෙන් හැසිරෙන අතර, එවැනි අවස්ථාවලදී අලින් පුද්ගලයන් පසුපස හඹා යාම හේතුවෙන් ජීවිත හානි සිදුවීමේ අවදානමක් පවතින බවද දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිත කර වනජීවී දර්ශන පටිගත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අඛණ්ඩව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, එවැනි පුද්ගලයන් සහ ඔවුන් භාවිත කළ උපකරණ අධිකරණයට ඉදිරිපත් කරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *