අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සංශෝධිත පනත් කෙටුම්පත නීතියක් බවට පත්වෙයි

අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින්  සහතික කිරීමත් සමඟ එය 2026 අංක 24 දරන පනතක් බවට පත්ව තිබේ.

1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ පනතේ නීතිමය හා පරිපාලන රාමුව යාවත්කාලීන කිරීම මෙම සංශෝධනයේ අරමුණයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

නව පනත යටතේ අපනයන කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යුහයද සංශෝධනය කර තිබේ. ඒ අනුව මෙතෙක් පැවති “අධ්‍යක්ෂ” තනතුර “අධ්‍යක්ෂ ජනරාල්” ලෙස වෙනස් කර ඇති අතර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ යන තනතුරුද හඳුන්වා දී ඇත.

එමෙන්ම “අපනයන කෘෂිකාර්මික බෝග” යන අර්ථ දැක්වීමද පුළුල් කර තිබේ. ඒ අනුව දේශීය පරිභෝජනය සඳහා භාවිත වන අතරම අපනයන හැකියාවක්ද ඇති බව හඳුනාගෙන ඇති බෝග එම අර්ථ දැක්වීමට ඇතුළත් වේ.

කෙසේ වෙතත්, වී, එළවළු, පලතුරු, අල වර්ග සහ ඇතැම් ආහාර බෝග මෙන්ම නිශ්චිතව හඳුනාගත් සාම්ප්‍රදායික වතු බෝගද එම අර්ථ දැක්වීමෙන් බැහැර කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *