ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ භේදයෙන් තොරව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සෞද් රජුගෙන් ශ්‍රී ලාංකික සිරස අනෝජන් සම්බන්ධයෙන් රාජකීය සමාවක් සහ මානුෂීය කරුණු මත සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
සෞදි අරාබියේදී සිරදඬුවමකට සහ සැලකිය යුතු මුදල් දඩයකට මුහුණ දෙමින් සිටින අනෝජන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් 2026 සැප්තැම්බර් 21 වැනිදා දිනැති ලිපියක් සෞදි රජු වෙත යොමු කර ඇත.
විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් අත්සන් කර ඇති එම ලිපියට නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි මහතාද එක්ව සිටී.
අනෝජන්ට ලබාදී ඇති දඬුවම ලිහිල් කිරීම, සහනයක් ලබාදීම හෝ ඔහුට පනවා ඇති මුදල් දඩය සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස මන්ත්‍රීවරුන් සෞදි රජුගෙන් ඉල්ලා තිබේ.
සීමිත ආදායමක් ලබන සේවකයෙකු වන අනෝජන්ට පනවා ඇති දඩ මුදල ඔහුගේ මූල්‍ය හැකියාව ඉක්මවා යන බවද ඔවුහු පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහු උපයන ආදායම මත දැඩි ලෙස රඳා පවතින බවද ලිපියේ සඳහන් කර ඇත.
අනෝජන් තමන් වරදකරු වූ සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව සහ පසුතැවිල්ල ප්‍රකාශ කර ඇති බවද මන්ත්‍රීවරුන් අවධාරණය කර තිබේ.
එමෙන්ම, ඔහු සමාව අයැද සිටින අතර, මුහම්මද් නබිතුමා සම්බන්ධයෙන් සහ මුස්ලිම් ජනතාවගේ ආගමික හැඟීම් සම්බන්ධයෙන් තම ගෞරවය ප්‍රකාශ කර ඇති බවද ලිපියේ සඳහන් වේ.
සෞදි අරාබියේ නීතිමය බලතල, ස්වෛරීභාවය සහ අධිකරණ ආයතන සම්බන්ධයෙන් තමන්ගේ පූර්ණ ගෞරවය පළ කරන බවද ශ්‍රී ලාංකික මන්ත්‍රීවරුන් අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ පවතින සුහදත්වය සැලකිල්ලට ගනිමින්, මෙම ඉල්ලීම සම්පූර්ණයෙන්ම මානුෂීය කරුණු මත ඉදිරිපත් කරන බව ඔවුහු සඳහන් කර ඇත.


