පුත්තලම දිස්ත්‍රික්කයේ අනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභයභූමියේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටිති.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ බදාදා (19) දිනයේදී අභයභූමියේ මයියාව වැව පිටිය ප්‍රදේශයෙන් ගින්න හටගෙන ඇති බවයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා වනජීවී නිලධාරීන් සමඟ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හලාවත ප්‍රාදේශීය සභාව, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සහ හලාවත ගිනි නිවීමේ ඒකකය එක්ව කටයුතු කරමින් සිටිති.
ජල බවුසර් සහ ට්‍රැක්ටර් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට කටයුතු කරන අතර, මයියාව සහ බෝගහවැටිය ප්‍රදේශවල ජනතාවද නිලධාරීන් සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම්වලට සහාය වෙති.
මේ වනවිට ගින්න අක්කර හතක පමණ ප්‍රදේශයකට පැතිර ගොස් ඇති බව වාර්තා වේ.
ගින්න පැතිරීම වැළැක්වීම සඳහා ගිනි නිවාරණ තීරු සකස් කර ඇති අතර, බැකෝ යන්ත්‍ර යොදා ගනිමින්ද අවශ්‍ය භූමි ප්‍රදේශ සකස් කර තිබේ. කෙසේ වෙතත්, පවතින දැඩි සුළං සහ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ගින්න පාලනය කිරීම අසීරු වී ඇත.
එක් ප්‍රදේශයක ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති නමුත්, සුළං හමන දිශාවට ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින බව නිලධාරීහු පවසති.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති අතර, ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දිවා රාත්‍රී නොතකා කටයුතු කරමින් සිටිති.
ජෛව විවිධත්වය අතින් ඉහළ වැදගත්කමක් ඇති අනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභයභූමිය ආරක්ෂා කිරීමේ වැදගත්කමද බලධාරීන් අවධාරණය කර ඇත.


