ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරියට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහාය ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරිය සාර්ථකව පැවැත්වීම සඳහා සහාය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජම්බෝරිය සඳහා සහාය ලබාදෙන රාජ්‍ය ආයතනවල දායකත්වය මෙන්ම, එය සාර්ථකව සංවිධානය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල දායකත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 115 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරි 17 සිට 23 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

දේශීය හා විදේශීය බාලදක්ෂයන් 12,000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන මෙම ජම්බෝරිය සඳහා මේ වන විටත් සූදානම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

බාලදක්ෂ ජම්බෝරිය සාර්ථකව පැවැත්වීම සඳහා සහාය ලබාදීම පාසල් දරුවන් වෙනුවෙන් ලැබෙන වැදගත් අවස්ථාවක් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

රජය සිය උපරිම සහාය ලබාදෙන අතරම, මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයද අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මනෝජ් නානායක්කාර මහතා, ජාත්‍යන්තර කොමසාරිස් සහ සම ජම්බෝරි අධ්‍යක්ෂ ආචාර්ය අසංක එරියාව මහතා, සහකාර ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් සහ සම ජම්බෝරි අධ්‍යක්ෂ අමිල් අබේසුන්දර මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *