ඇමෙරිකා එක්සත් ජනපදයට සංචාරය කිරීමට අපේක්ෂා කරන සංක්රමණික නොවන වීසා අයදුම්කරුවන්, එම සංචාරය අතරතුර දැරීමට සිදුවන වියදම් පියවා ගැනීමට ප්රමාණවත් මූල්ය හැකියාවක් ඇති බව තහවුරු කළ යුතු යැයි ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දෙයි.
සංචාරයේදී ඇති විය හැකි අනපේක්ෂිත බාධා සහ හදිසි වෛද්ය අවශ්යතා සඳහා දැරීමට සිදුවන වියදම් ද ඊට ඇතුළත් බව තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඇමෙරිකාවට යාමට සැලසුම් කරන පුද්ගලයන්ට තම සංචාරය සඳහා අවශ්ය මූල්ය සූදානම ඇති කරගන්නා ලෙසත්, වීසා සම්මුඛ පරීක්ෂණයේදී ඒ බව තහවුරු කරන ලේඛන ඉදිරිපත් කරන ලෙසත් එම කාර්යාලය උපදෙස් දී තිබේ.
ඇමෙරිකාවට ඇතුළුවීමෙන් පසු රජයේ මහජන ආධාර මත යැපීමට සිදු නොවන බවත්, තම වියදම් තමන්ටම දරාගත හැකි බවත් පෙන්වන ලේඛන ඉදිරිපත් කරන ලෙස අයදුම්කරුවන්ට දැනුම් දී ඇත.
එමෙන්ම, සංචාරය අතරතුර අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් ඇති වන වියදම් ඇතුළුව තමන්ට දැරීමට සිදුවන සියලු වියදම් පියවා ගැනීමට සංචාරකයන් සූදානම්ව සිටිය යුතු බවද තානාපති කාර්යාලය අවධාරණය කරයි.
මේ අතර, වීසා අයදුම් කිරීමේ ක්රියාවලියේදී ව්යාජ ලේඛන ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසද ඇමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.
ව්යාජ ලේඛන ඉදිරිපත් කිරීම වීසා වංචාවක් ලෙස සැලකෙන අතර, එමඟින් වීසා ලබාගැනීමට ඇති සුදුසුකම් අහිමි වීම හෝ අනාගතයේදී ඇමෙරිකානු වීසා ලබාගැනීමට ස්ථිරවම නුසුදුස්සකු වීම පවා සිදුවිය හැකි බව එම කාර්යාලය පෙන්වා දෙයි.
මෙම දැනුම්දීමේ අරමුණ වන්නේ ඇමෙරිකානු සංක්රමණික නොවන වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන්, මූල්ය සූදානම සහ අවශ්ය ලේඛන සම්බන්ධයෙන් පවතින අපේක්ෂාවන් පිළිබඳව දැනුවත් කිරීමයි.


