WhatsApp නව ආරක්ෂක විශේෂාංග හඳුන්වා දෙමින් වංචා සහ ගිණුම් පැහැරගැනීම් වැළැක්වීමට පියවර ගනී

Meta සමාගමට අයත් WhatsApp, වංචාකරුවන් සහ හැකර්වරුන් විසින් පරිශීලකයින් රැවටීම හෝ ඔවුන්ගේ ගිණුම් අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා සිය ආරක්ෂක ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කරමින් නව විශේෂාංග කිහිපයක් හඳුන්වා දී තිබේ.

WhatsApp පවසන්නේ මේ වනවිට ලොව පුරා බිලියනයකට වැඩි පරිශීලකයින් පිරිසක් Passkey ආරක්ෂක පහසුකම සක්‍රීය කර ඇති බවයි.

මෙම පහසුකම මඟින් සාමාන්‍ය ආරක්ෂක කේත හෝ PIN අංක භාවිත කිරීම වෙනුවට ඇඟිලි සලකුණ, Face ID හෝ දුරකථනයේ Screen Lock කේතය භාවිත කර WhatsApp ගිණුමට නැවත පිවිසීමට පරිශීලකයින්ට හැකියාව ලැබේ.

WhatsApp සඳහන් කළේ Android සහ iOS උපාංග සඳහා පරිශීලකයින්ට Passkey එකකට වඩා වැඩි ප්‍රමාණයක් එක් කර ගැනීමටද හැකි බවයි.

මේ අතර, WhatsApp හි Two-Step Verification පහසුකමද තවදුරටත් වැඩිදියුණු කරමින් සම්පූර්ණ මුරපදයක් ලෙස භාවිත කළ හැකි ආකාරයට සකස් කර තිබේ. ඒ අනුව, මුරපද සඳහා අකුරු සහ ඉලක්කම් මෙන්ම විශේෂ සංකේතද භාවිත කිරීමට හැකියාව ලැබේ.

තවද, Android පරිශීලකයින්ට තම සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පුද්ගලයින්ගෙන් ලැබෙන ඇමතුම් සම්බන්ධයෙන් වැඩි තොරතුරු ලබාදීමට WhatsApp නව පහසුකමක් හඳුන්වා දීමට නියමිතය.

ඒ අනුව, අදාළ දුරකථන අංකය ඇමතුම ලබාදෙන්නේ කුමන ස්ථානයකින්ද සහ එම පුද්ගලයා සමඟ පරිශීලකයාට පොදු කණ්ඩායම් තිබේද යන්න වැනි තොරතුරු වඩාත් පැහැදිලිව දැකගත හැකි වනු ඇත.

WhatsApp පවසන්නේ මෙම පහසුකමද වංචාකරුවන්ගෙන් පරිශීලකයින් ආරක්ෂා කිරීමේ උපායමාර්ගයක කොටසක් බවයි.

WhatsApp සිය බ්ලොග් සටහනක සඳහන් කර ඇත්තේ පරිශීලකයින්ගේ සංවාද ඔවුන් සහ ඔවුන් සමඟ සන්නිවේදනය කරන පුද්ගලයින්ට පමණක් අයත් වන බැවින්, පෙරනිමියෙන් End-to-End Encryption ලබාදී ඇති බවත්, පරිශීලකයින්ගේ ගිණුම් වඩාත් ආරක්ෂිතව තබා ගැනීම සඳහා නව ක්‍රම අඛණ්ඩව හඳුන්වා දෙන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *