පුද්ගලයන්ගේ දැනුවත්භාවයකින් හෝ අනුමැතියකින් තොරව ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීම හෝ හඬ පටිගත කිරීම සිදුවිය හැකි බවට පවතින කනස්සල්ල හේතුවෙන් පොදු ස්ථාන කිහිපයකදී කෘත්‍රිම බුද්ධියෙන් (AI) බලගැන්වූ ස්මාර්ට් කණ්ණාඩි භාවිතය තාවකාලිකව තහනම් කිරීමට නෝර්වේ රජය නීති යෝජනා කිරීමට සූදානම් වන බව රොයිටර්ස් වාර්තා කරයි.
යෝජිත සීමා කිරීම් යටතට විශාල පිරිසක් නිරන්තරයෙන් රැස්වන උද්‍යාන, වෙරළ තීර, කෞතුකාගාර, සාප්පු සංකීර්ණ සහ පොදු උත්සව පැවැත්වෙන ස්ථාන ඇතුළත් විය හැකිය.
පාසල්, ළමා ක්‍රීඩා පිටි සහ තරුණ සමාජද මෙම තහනමට ඇතුළත් විය හැකි අතර, වෛද්‍යවරුන්ගේ කාර්යාල, පිහිනුම් තටාක සහ ඇඳුම් මාරු කරන ස්ථාන සහිත ව්‍යායාම මධ්‍යස්ථාන වැනි පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් සංවේදී ස්ථානද ඊට ඇතුළත් කිරීමට අවධානය යොමුව තිබේ.
නෝර්වේ ඩිජිටල්කරණ සහ මහජන පාලන අමාත්‍ය ටෝර්ගෙයාර් මිකාල්සන් පැවසුවේ, පුද්ගලයන්ගේ දැනුවත්භාවයකින් තොරව ඔවුන්ගේ ඡායාරූප ගැනීමට, වීඩියෝගත කිරීමට හෝ හඬ පටිගත කිරීමට හැකියාව ඇති බලවත් නව තාක්ෂණයන් වේගයෙන් භාවිතයට පැමිණීම සම්බන්ධයෙන් රජය කනස්සල්ලෙන් පසුවන බවයි.
කෙසේ වෙතත්, AI කණ්ණාඩි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය අදහස් නොකරයි. වෙනත් පුද්ගලයන්ගේ අනුමැතියකින් තොරව ඔවුන් පටිගත වීමේ අවදානමක් නොමැති පෞද්ගලික භාවිතය සහ අවස්ථාවලදී මෙම කණ්ණාඩි භාවිත කිරීමට අවසර ලබාදීමට නියමිතය.
රොයිටර්ස් වාර්තාවට අනුව, යෝජිත සීමා කිරීම් යටතට ඇතුළත් කළ යුතු උපාංග මොනවාද යන්න පිළිබඳවද රජය විමසා බැලීමට නියමිතය.
ඒ යටතට කැමරා සහ හඬ පටිගත කිරීමේ පහසුකම් සහිත කණ්ණාඩි, AI තාක්ෂණයෙන් බලගැන්වූ කැමරා කණ්ණාඩි සහ කැමරා, මයික්‍රෆෝන හෝ කෘත්‍රිම බුද්ධි පහසුකම් සහිතව ශරීරයේ පැළඳිය හැකි වෙනත් තාක්ෂණික උපාංගද ඇතුළත් විය හැකිය.
කැමරා සහ වෙනත් පටිගත කිරීමේ තාක්ෂණයන් සහිත ස්මාර්ට් කණ්ණාඩි හේතුවෙන් පෞද්ගලිකත්වයට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් කනස්සල්ල ඉහළ යමින් පවතින පසුබිමක නෝර්වේ රජයේ මෙම පියවර ගෙන තිබේ.
නෝර්වේ සුළුතර රජය මෙම නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර, ශරීරයේ පැළඳිය හැකි තාක්ෂණයන් සම්බන්ධයෙන් ස්ථිර ජාතික නීති සම්පාදනය සඳහා බලධාරීන්ට උපදෙස් ලබාදීමට විශේෂඥ කණ්ඩායමක්ද පත් කිරීමට නියමිතය.


