UGC අහෝසි කිරීමේ තීරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවති බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දෙන අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකර ගැනීම හා එම දීමනාව දැනට ක්‍රියාත්මක කරනු ලබන උපයන විට අයකරනු ලබන බද්දෙන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ මෙහි දී සාකච්ඡාවට ලක් ව ඇති බව වාර්තා වේ.

රටේ සියලුම ජනතාව මුහුණ දී සිටින ආර්ථික අසීරුතාව පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති අතර, පවතින ආර්ථික ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් සියලු ජනතාව වෙත සහන සැලසීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහි දී පවසා ඇති බව සඳහන්ය.

අධ්‍යයන පර්යේෂණ දීමනාව ඉල්ලා සිටින පරිදි ලබා දීමට දැනට පවතින චක්‍රලේඛ අනුව ප්‍රතිපාදන නොමැති වුවත් එය පවතින බදු ප්‍රතිපත්තිවලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් වෙනත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති 03ක් ඇතුළත තමා වෙත වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලි‍ෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී වැඩිදුරටත් පවසා ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිහ මහතා පැවසුවේ, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *