විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් හමුවී සාකච්ඡාවක නිරත විය.

පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සිය අදහස් සහ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා, මෙම සංශෝධනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මෙන්ම රටේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද පැහැදිලි කළේය.

අධිකරණ පරිපාලනය යනු අධිකරණය පමණක් සම්බන්ධ වන ක්‍රියාවලියක් නොවන බවත්, විමර්ශන, නඩු පැවරීම් සහ නඩු විභාග ඇතුළත් ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මානව සම්පත් ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමටත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමටත් සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම, අභියාචනාධිකරණයට ප්‍රාදේශීය මට්ටමින් නඩු විභාග කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

ඉහළ අධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම අධිකරණ සඳහා අවශ්‍ය භෞතික යටිතල පහසුකම් සහ පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය. එමගින් ජනතාවට යුක්තිය ලබාගැනීම වඩාත් පහසු කිරීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.

මෙම පසුබිම තුළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගත් තීරණය කිසිදු පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් ගත් තීරණයක් නොවන බවත්, එය පුළුල් මහජන යහපත සැලකිල්ලට ගනිමින් ගත් තීරණයක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම සංශෝධනය සමස්ත අධිකරණ පද්ධතියේ ගැටලු විසඳීම අරමුණු කරගත් පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක එක් අංගයක් පමණක් බවත්, එය තම පෞද්ගලික මතයක් හෝ රජයේ පමණක් ස්ථාවරයක් නියෝජනය නොකරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සඳහන් කළේ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම හෝ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රතිපත්තිමය විරෝධයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ තීරණය පුළුල් එකඟතාවකට පැමිණීමේ අරමුණින් නැවත සලකා බලන ලෙස ඔවුහු යෝජනා කළහ.

අධිකරණ අමාත්‍ය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති නීති උපදේශක ජනාධිපති නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රාජීව් අමරසූරිය ඇතුළු එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *