උතුරු හා නැගෙනහිර ජනතාවට ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

යුද සමයේ ආරක්ෂක කටයුතු සඳහා අත්පත් කරගත් නමුත් මේ වනවිට ආරක්ෂක අවශ්‍යතා සඳහා තවදුරටත් අවශ්‍ය නොවන උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර යළි ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

පෞද්ගලික ඉඩම්වල ස්ථාපිත කර ඇති හමුදා කඳවුරු සඳහා අත්පත් කරගත් ඉඩම් මෙන්ම මීට පෙර ප්‍රදේශවාසීන් භාවිත කළ රජයේ ඉඩම්ද කඩිනමින් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

ජාතික ආරක්ෂාව ප්‍රමුඛස්ථානයේ පවතින බව අවධාරණය කළ ජනාධිපතිවරයා, හමුදා කඳවුරු සහ අනෙකුත් ආරක්ෂක ස්ථාපන පවත්වාගෙන යා යුතු ස්ථාන තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අදාළ ආරක්ෂක බලධාරීන් විසින් සිදුකළ යුතු බව සඳහන් කළේය.

ඒ අනුව තවදුරටත් ආරක්ෂක අවශ්‍යතා සඳහා රඳවාගත යුතු ඉඩම් සහ ජනතාව වෙත නිදහස් කළ හැකි ඉඩම් සම්බන්ධයෙන් අවසන් තීරණයකට කඩිනමින් එළඹිය යුතු බවද ඔහු පැවසීය.

ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරමින් හැකි උපරිම ඉඩම් ප්‍රමාණයක් ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම ඉඩම් නැවත ලබාදීමත් සමඟ ජනතාවගේ ජීවනෝපාය අවස්ථාද තහවුරු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

මේ සඳහා නවීන කෘෂිකාර්මික තාක්ෂණය යොදාගනිමින් ඵලදායිතාව ඉහළ නැංවීමට සහ තිරසර ජීවනෝපායන් නිර්මාණය කිරීමට හැකි ව්‍යාපෘති හඳුන්වාදෙන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාටද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *