SLS සහතිකය නැති ටින් මාළු විකුණූ සුපිරි වෙළෙඳසැලට සහ නිෂ්පාදකයාට රු. 110,000 ක දඩ

අනිවාර්ය SLS 591 ප්රමිති සහතික ලාංඡනය නොමැතිව ටින් මාළු අලෙවි කිරීම, ගබඩා කිරීම, නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් සුපිරි වෙළෙඳසැල් ක්රියාකරුවෙකු සහ ටින් මාළු නිෂ්පාදකයෙකු ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය විසින් රුපියල් 110,000 ක මුළු දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පවසන පරිදි, මෙහිදී සුපිරි වෙළෙඳසැල් ක්රියාකරුට සහ එහි නිලධාරීන් දෙදෙනෙකුට රුපියල් 90,000 ක දඩ මුදලක් ද, ටින් මාළු නිෂ්පාදන සමාගමට සහ එහි කළමනාකාර අධ්යක්ෂවරයාට රුපියල් 20,000 ක දඩ මුදලක් ද නියම කෙරිණි.
2026 අගෝස්තු 11 වැනිදා කොළඹ පිහිටි සුපිරි වෙළෙඳසැලක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව මෙම නඩුව ගොනු කර තිබුණි.
එම පරීක්ෂාවේදී අනිවාර්ය SLS 591 ප්රමිති සහතික ලාංඡනය නොමැති, එකක් ග්රෑම් 185 බැගින් වූ ටින් මාළු 87 ක් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. ඒ අතර සූරියකාන්ත තෙල් අඩංගු ටින් 64 ක් සහ ඔලිව් තෙල් අඩංගු ටින් 23 ක් තිබී ඇත.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඉන් ටින් 32 ක් අලෙවිය සඳහා ප්රදර්ශනය කර තිබූ බවත්, ඉතිරි ටින් 55 ගබඩාවේ තබා තිබූ බවත්ය. ඒ අනුව නියමිත ප්රමිති සහතික ලාංඡනය නොමැතිව ටින් මාළු අලෙවියට ප්රදර්ශනය කිරීම, ගබඩා කිරීම, නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම යන චෝදනා මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.




