නිවාස හා ඉඩම් ලබාදෙන බව පවසමින් වංචා කළ බවට සමාගම් අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

පහසු ගෙවීම් ක්‍රමයක් යටතේ නිවාස සහ ඉඩම් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මහජනතාවගෙන් මුදල් වංචා කළ බවට සැකපිට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින්, වාරික ගෙවීම් ක්‍රමයක් යටතේ නිවාස සහ ඉඩම් ලබාදෙන බවට පොරොන්දු වී මෙම වැඩපිළිවෙළ ප්‍රචාරය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වූ පාරිභෝගිකයන්ගෙන් ගිවිසුම් අත්සන් කරවාගෙන, නිවස සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකමින් සියයට 60කට සමාන අත්තිකාරම් මුදලක් ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත්, පොරොන්දු වූ පරිදි නිවාස ඉදිකිරීමට සැකකරු කටයුතු කර නොමැති බවත්, මුදල් ආපසු ලබාදීම සඳහා පාරිභෝගිකයන් වෙත නිකුත් කළ චෙක්පත් ද ගෙවීම් සඳහා ප්‍රතික්ෂේප වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ වන විට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි පහක් ලැබී ඇති අතර, තවත් පීඩාවට පත් පුද්ගලයන් ඉදිරියට පැමිණෙනු ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු අද (28) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *