ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ අවශ්‍ය ඖෂධවල හිඟයක් ඇති නොවීමට සහාය වීම සඳහා ඉන්දියාව අත්‍යවශ්‍ය ක්ෂය රෝග ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
මෙම ඖෂධ තොගය ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අද කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාර දෙනු ලැබීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකර ඇති අතර, ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ සහාය ඇතිව එය සම්බන්ධීකරණය කර තිබේ.
මෙම ඖෂධ තොගයට ක්ෂය රෝග ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ ටොන් 3කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වන අතර, එහි පෙති මිලියන 1.5කට වැඩි ප්‍රමාණයක්ද තිබේ. එම ඖෂධ තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම රු. මිලියන 52ක් පමණ වේ.
ක්ෂය රෝගය සඳහා භාවිත කරන මූලික පෙළේ අත්‍යවශ්‍ය ඖෂධද මෙම තොගයට ඇතුළත් වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීම සහ ඖෂධ ලබාගත හැකි බව සහතික කිරීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඉන්දියාව සහාය ලබාදෙන තවත් අවස්ථාවක් ලෙස සැලකේ. ඩෙංගු මර්දන කටයුතු සඳහා රජය කළ ඉල්ලීමකට අනුව ඉන්දියාව පසුගිය අගෝස්තු මාසයේදී ටෙක්නිකල් මැලතියන් ලීටර් 500ක්ද ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබිණි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ දිගුකාලීන සහයෝගීතාවක් පවතින අතර, රෝහල් සහ සෞඛ්‍ය පහසුකම් ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම, ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීම මෙන්ම ධාරිතා සංවර්ධන හා පුහුණු වැඩසටහන් ඒ යටතේ ක්‍රියාත්මක කර තිබේ.
හදිසි අවස්ථාවලදී සහ කඩිනම් වෛද්‍ය අවශ්‍යතා මතුවූ අවස්ථාවලදීද ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදී තිබේ.


