Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඇල්ල පොලිස් වසමේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද ‘ඇල්ල රොක් වීව්’ (Ella Rock View) සුඛෝපභෝගී පොලිස් නිවාඩු නිකේතනය, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 31 වැනිදා නිල වශයෙන් විවෘත විය.

බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසය තුළ අලුතින් ඉදිකර වැඩ නිමවන ලද ප්‍රධාන ව්‍යාපෘති ත්‍රිත්වයෙන් එකක් ලෙස මෙම නිවාඩු නිකේතනය ස්ථාපිත කර ඇත. හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා (OIC) වෙනුවෙන් ඉදිකළ නව නිල නිවස සහ හල්දුම්මුල්ල පොලිස් ස්ථානයට අනුබද්ධව ඉදිකරන ලද නවීන දේශන ශාලාව සෙසු ව්‍යාපෘති දෙකයි.

කුලී නිවාස වියදම් කපාහැරීමේ නව මුලපිරීමක්

පොලිස් නිලධාරීන් මුහුණ දෙන නවාතැන් සහ පරිපාලනමය ගැටලුවලට විසඳුම් ලබාදීම මෙන්ම, පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නවාතැන් පහසුකම් සඳහා කුලී පදනම මත රජය විසින් දිගුකාලීනව දරනු ලබන දැවැන්ත මූල්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, පොලිස් ආධාරක සේවා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද සහ මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු රැසක් සහභාගී වූහ.

ඔබේ අදහස