Mobile Number Portability සැප්තැම්බරයේදී ඇරඹෙන්නේ නැහැ – රජයෙන් මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කිරීමක්

ජංගම දුරකථන අංකය වෙනස් නොකර සේවා සපයන්නා මාරු කරගැනීමට අවස්ථාව ලබාදෙන Mobile Number Portability (MNP) සේවාව සැප්තැම්බර් මාසයේදී ආරම්භ නොකරන බව රජය පැහැදිලි කර තිබේ.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් MNP සේවාව සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජය මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

රජය සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), අමාත්‍යාංශය සහ දුරකථන සේවා සපයන්නන් අතර පවතින ගැටලු විසඳා MNP සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව පමණක් බවයි.

විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ට සැප්තැම්බර් මාසය අවසන් වනවිට අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සහ අදාළ බලපත්‍ර කොන්දේසි යටතේ නියාමන නියෝගයක් නිකුත් කිරීමට TRCSL පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබූ බවද රජය පැවසීය.

ඒ අනුව සැප්තැම්බර් අවසානය යනු MNP සේවාව ආරම්භ කරන දිනය නොව, සේවා සපයන්නන් අතර එකඟතාවකට පැමිණීම සඳහා ලබාදී ඇති අවසන් කාලසීමාව බව රජය අවධාරණය කළේය.

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් හැකි ඉක්මනින් MNP පහසුකම හඳුන්වාදීමට රජය කැපවී සිටින බවද සඳහන් කළ අතර, නිල දියත් කිරීමේ දිනය පසුව ප්‍රකාශයට පත් කරන බව රජය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *