MCC රටට අහිතකර බව සමාලෝචන කමිටුව ජනපතිට දන්වයි

MCC ගිවිසුම් කෙටුම්පතේ අහිතකර කරුණු කාරණා රැසක් පිළිබඳව සමාලෝචන කමිටුව ජනපති හමුවේ පෙන්වා දී තිබේ. MCC ගිවිසුම් සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ‍ මහතා වෙත එම කමිටු සාමාජිකයින් විසින් භාර දෙනු ලැබිණ. එහිදී MCC ගිවිසුම ක්‍රියාත්මක කළ අනෙකුත් රටවල් වලට අද අත්ව ඇති ඉරණම පිළිබඳවද කමිටු සාමාජිකයින් ජනාධිපතිතුමා දැනුවත් කර තිබේ.

ඉකුත් රජය විසින් 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවත්, ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නොමැති බවත් වාර්තාව භාරදෙමින් කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ජනපති හමුවේ පැවසා ඇත.

එමෙන්ම රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

අනතුරුව ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ, වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙසටයි.

මාස 06ක් වැනි කාලයක් වැය කරමින් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව කමිටු වාර්තාව සම්පාදනය කෙරුණේ, විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසකගේ අදහස් හා යෝජනා විමර්ශනය කරමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම සිව් පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *