LGBTQ+ අයිතිවාසිකම් පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ජනපතිට භාර දෙයි.

ශ්‍රී ලංකාවේ LGBTQ+ ප්‍රජාවන්ගේ අයිතීන් සුරැකීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් අද (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින් පනත් කෙටුම්පත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින් ඊයේ (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

LGBTQ + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජයට ඇත්තේ අතිශයින් පසුගාමී මතයක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එදිනෙදා ජීවිතයේදී පමණක් නොව රජයේ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල පවා මෙම ප්‍රජාව විවිධ ප්‍රචණ්ඩත්වයන්ට, පීඩාවන්ට හා හිරිහැරවලට ලක්ව ඇත. ඇතැම් විට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වී ඇත.

ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත පදනම්ව පුද්ගලයන්ට දඬුවම් කිරීම වික්ටෝරියානු යුගයේ යටත් විජිත නීති පද්ධති මගින් ලොව පුරා ව්‍යාප්ත විය. නමුත් නූතන මනෝ වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස නොසැලකේ. එසේම, මෙම ප්‍රජාවට දඬුවම් කරන සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කරන නීති සංශෝධනය කිරීමට සංවර්ධිත රටවල් කටයුතු කර ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් මෙම පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව පීඑම්ඩී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *