හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් ජෝර්ජ් ස්ටුවර්ට් අධ්යක්ෂ මණ්ඩලයට

2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් (James Dauris) මහතා සිය අධ්යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කළ බව ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම (George Steuart & Company Ltd) නිවේදනය කර තිබේ.
2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස සේවය කළ ඩෝරිස් මහතා ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කටයුතු, වාණිජ සබඳතා සහ උපායමාර්ගික උපදේශන ක්ෂේත්රයන්හි දශක තුනකට අධික අත්දැකීම් සම්භාරයක් සහිත අයෙකි.
පේරු සහ පැනමා රාජ්‍යයන්හි බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කිරීම සහ එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) ජ්‍යෙෂ්ඨ තනතුරු දැරීම ද ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික වෘත්තීය ජීවිතයට ඇතුළත් වේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන ඩෝරිස් මහතා රාජ්‍යතාන්ත්‍රික සේවයට පිවිසීමට පෙර ලන්ඩන් නුවර ආයතනික හා වාණිජ නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥවරයෙකු (Solicitor) ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
බ්‍රිතාන්‍ය සබඳතා සහ ආයතනික පාලනය ශක්තිමත් කිරීම
සමාගම පවසන පරිදි, සිය දීර්ඝකාලීන බ්‍රිතාන්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් ජාත්‍යන්තර ව්‍යාප්තිය පුළුල් කිරීම කෙරෙහි යළි අවධානය යොමු කිරීමේ සැලැස්මට මෙම පත්වීම මනාව ගැළපේ. 1988 වසර දක්වා වසර 150 කට වැඩි කාලයක් සිය අධ්යක්ෂ මණ්ඩලයේ බ්‍රිතාන්‍ය අධ්යක්ෂවරුන් සේවය කළ බව ද ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සඳහන් කළේය. මෙම නව පත්වීමත් සමඟ ඩෝරිස් මහතා අධ්යක්ෂ මණ්ඩලයේ පස්වන ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරයා බවට පත්වන අතර, එමගින් ස්වාධීන අධීක්ෂණය සහ ආයතනික පාලනය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මෙම පත්වීම පිළිගනිමින් සමූහ සභාපති සර්ව අමරසේකර (Sarva Ameresekere) මහතා මෙසේ පැවසීය:
“ජේම්ස්ව අධ්යක්ෂ මණ්ඩලයට පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. අපගේ වෙරළ තීරයෙන් ඔබ්බට ඇති අවස්ථාවන් ගවේෂණය කිරීමට අප උත්සාහ කරන මේ මොහොතේ, ඔහුගේ පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් සහ ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධය ඉතා වටිනා සම්පතක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.”
සිය නව භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් ඩෝරිස් මහතා කියා සිටියේ, සමූහය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිය ව්‍යාපාර පුළුල් කිරීමට උත්සාහ කරන අවස්ථාවක සමාගම හා එක්වීමට ලැබීම පිළිබඳව තමන් සතුටට පත්වන බවයි.
1835 වසරේදී ආරම්භ කරන ලද ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළෙඳ ආයතනය වන අතර තේ අපනයනය, සෞඛ්‍ය සේවා, සංචාරක හා විවේක, මූල්‍ය සේවා, පාරිභෝගික නිෂ්පාදන සහ කාර්මික විසඳුම් යන ක්ෂේත්රයන්හි විවිධාංගීකරණය වූ ව්‍යාපාර පවත්වාගෙන යයි.




