රු. මිලියන 1.5කට ආරක්ෂිත මුහුදු බෙල්ලන් අලෙවි කිරීමට සැරසුණු බව කියන අයෙකු මහරගමදී අත්අඩංගුවට

රු. මිලියන 1.5ක වටිනාකමකින් යුත් ආරක්ෂිත මුහුදු බෙල්ලන් අලෙවි කිරීමට උත්සාහ කළ බව කියන සැකකරුවෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔක්තෝබර් 4 වැනිදා හොරගොල්ල ජාතික උද්‍යාන මූලස්ථානය වෙත ලැබුණු තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අදාළ තොරතුර ලැබී ඇත්තේ මුහුදු බෙල්ලන් ජාවාරමක් සම්බන්ධයෙනි.

මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සන්තකයේ තිබී “ලංකා සිතියම් බෙල්ලන්” ලෙස හඳුන්වන Cassis cornutus වර්ගයේ මුහුදු බෙල්ලන් 6ක් සහ තවත් අපෘෂ්ඨවංශී මුහුදු ගොළුබෙල්ලන් විශේෂ 18කට අයත් බෙල්ලන් කිහිපයක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම මුහුදු බෙල්ලන් රු. මිලියන 1.5කට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු සහ සොයාගත් මුහුදු බෙල්ලන් ඔක්තෝබර් 8 වැනිදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ආරක්ෂිත මුහුදු ගොළුබෙල්ලන්ට අයත් බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය කිරීම සහ වෙළෙඳාම් කිරීම සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ තහනම් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එවැනි නීති විරෝධී වෙළෙඳාම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *