ඇනහිට ඇති ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡා ඔක්තෝම්බර් මස අගදී නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සැලසුම් කර ඇති බව ඉහළ නිලධාරියෙක් පැවසීය.
ETCA සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡාකරුවන් මේ මස 19 වැනි දින අතථ්‍ය හමුවක් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
“දිනයන් තවම අවසන් කර නැහැ. බොහෝ විට ලබන මස 20 වැනිදායින් පසුව ලබන මස අගදී සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු කේ. වීරසිංහ මහතා පැවැසීය.
පවතින ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) පුළුල් කිරීම සහ ගැඹුරු කිරීමේ අරමුණින් දෙරට අතර 2016 සිට 2019 දක්වා ද්විපාර්ශ්වික සාකච්ඡා වට 11 ක් පවත්වා ඇත. කෙසේ වෙතත් ආණ්ඩු වෙනස්වීම් සහ අනෙකුත් දේශපාලන වර්ධනයන් හේතුවෙන් මෙම සාකච්ඡා පසුගිය වසර හතරක කාලය තුළ ඇනහිට ඇත.
ETCA යටතේ සේවා අංශය විවෘත කිරීමට වෘත්තීය සමිති සහ විවිධ වෘත්තීය කණ්ඩායම් ද දැඩි ලෙස විරුද්ධ විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී වසර හතරක විරාමයකින් පසුව යෝජිත ETCA ගිවිසුම අවසන් කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරට එකඟ විය.