අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිගතභාවය සහ වෘත්තීය සංවර්ධනයට “අධ්‍යාපන සභාවක්” පිහිටුවීමට පනත් කෙටුම්පත වසරක් තුළ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිගතභාවය සහ අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින් “අධ්‍යාපන සභාවක්” පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු වසරක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක් ඉදිරිපත් කළ නිර්දේශ මත මෙම සභාව පිහිටුවීමට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2026 අගෝස්තු 25 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදී ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දැනට පවතින නීති හා රෙගුලාසිවලට අනුකූලව නීති කෙටුම්පත් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටු වාර්තාව නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත යොමු කිරීමට කටයුතු කරමින් සිටින බවද ඇය පැවසුවාය.

යෝජිත අධ්‍යාපන සභාවේ ප්‍රධාන කාර්යයක් වනුයේ පෙර පාසල්, ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපන මට්ටම්වල සේවය කරන අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය, ප්‍රමිතිගතභාවය, ලියාපදිංචිය, නියාමනය සහ අධීක්ෂණය සහතික කිරීම බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

වෘත්තීය සංවර්ධනය සහ තත්ත්ව සහතිකකරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමද සභාවේ වගකීමක් වන අතර, ද්විභාෂා අධ්‍යාපනඥයන් සහ ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපන වෘත්තිකයන් බිහිකිරීමට මෙන්ම ද්විභාෂා අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීමටද පියවර ගැනීමට නියමිතය.

ගුරුවරුන් බඳවා ගැනීම, උසස්වීම් ලබාදීම සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය සුදුසුකම් ප්‍රමිතිගත කිරීමද යෝජිත සභාව මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම අධ්‍යාපන වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් සහ ගැටලු සම්බන්ධයෙන් රජය සහ අධ්‍යාපන වෘත්තිකයන් අතර සම්බන්ධීකරණ ආයතනයක් ලෙසද සභාව කටයුතු කිරීමට නියමිතය.

සියලු දෙනාට සමාන අවස්ථා සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට හැකි පරිසරයක් සහතික කිරීමට සහාය වීමද මෙම ප්‍රතිසංස්කරණවල තවත් අරමුණක් බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් සඳහා වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක්ද හඳුන්වාදීමට නියමිතය. ඒ අනුව, නිපුණතා ප්‍රමිතීන් සහ ඇගයීම් මත අවශ්‍ය සුදුසුකම් සපුරන ගුරුවරුන්ට පමණක් වෘත්තීය බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

වෙනත් බලපත්‍ර සහිත වෘත්තීන් මෙන්ම ගුරු වෘත්තියේ වෘත්තීයමය පිළිගැනීම සහ ගෞරවය ඉහළ නැංවීම මෙම ක්‍රමවේදයේ අරමුණක් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ගුරුවරුන්ට තම රාජකාරි කාර්යක්ෂමව ඉටු කිරීමට අවශ්‍ය පාසල් සහ පන්ති කාමර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගැනීමට නියමිතය.

කෙසේ වෙතත්, යෝජිත අධ්‍යාපන සභාව රාජ්‍ය හෝ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීම හෝ ඒවායේ අධ්‍යයන වැඩසටහන්වල ගුණාත්මකභාවය ඇගයීම සිදු නොකරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. මෙම වැඩසටහනේ අවධානය යොමුවන්නේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම කෙරෙහි පමණක් බවද ඇය පැහැදිලි කළාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *