2026 වසරේ දකුණු ආසියාවේ ප්රමුඛතම සුවතා සංචාරක ගමනාන්තය සඳහා වන සංචාරකයන්ගේ තේරීම් සම්මානය (Visitors’ Choice Award) ශ්රී ලංකාවට හිමිව තිබේ.
ඔක්තෝබර් 8 වැනිදා මාලදිවයිනේ මාලේ නුවර පැවති 10 වැනි දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) මෙම සම්මානය පිරිනමා ඇත.
එම උත්සවයේදී ශ්රී ලංකාව වෙනුවෙන් සම්මානය ලබාගෙන ඇත්තේ මාලදිවයිනේ ශ්රී ලංකා මහකොමසාරිස් එම්. රිස්වි හසන් මහතාය. දකුණු ආසියාව පුරා සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්රවල නියෝජිතයෝ රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.
මාලදිවයිනේ ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුව, මෙම ඇගයීම මඟින් ශ්රී ලංකාවේ පොහොසත් ආයුර්වේද උරුමය සහ සාම්ප්රදායික සුවකිරීමේ ක්රමවේද මෙන්ම විවිධත්වයෙන් යුත් ස්වාභාවික පරිසරය සහ සුවතා සංචාරක අත්දැකීම්ද ඇගයීමට ලක් කර තිබේ. එම අත්දැකීම් ජාත්යන්තර සංචාරකයන් ශ්රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීමට අඛණ්ඩව දායක වන බවද එම කාර්යාලය සඳහන් කළේය.
දකුණු ආසියානු සංචාරක සම්මාන මඟින් ශ්රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, භූතානය සහ බංග්ලාදේශය යන රටවල් හයේ සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්රවල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරේ.
හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක නියෝජිතායතන, සංචාර සංවිධායකයන්, ගුවන් සේවා සහ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ අනෙකුත් ආයතන ඇතුළු කාණ්ඩ රැසක් යටතේ මෙම සම්මාන පිරිනැමේ.
මෙවර සම්මාන සඳහා අන්තර්ජාලය ඔස්සේ ඡන්ද මිලියන දෙකකට අධික සංඛ්යාවක් ලැබී ඇති අතර, නගර හතකදී බහුජාතික විනිසුරු මණ්ඩලයක් විසින් සිදු කළ ඇගයීම්ද සැලකිල්ලට ගෙන තිබේ.
2026 සම්මාන උළෙල මාලදිවයිනේ බාර්සිලෝ නසන්ධුරා මාලේ හෝටලයේදී පැවැත්වුණු අතර, එය මෙම කලාපීය සම්මාන වැඩසටහනේ 10 වැනි සංස්කරණයයි.
2016 වසරේදී ආරම්භ කළ SATA සම්මාන උළෙල, දකුණු ආසියාවේ සංචාරක, සංචාරක සේවා සහ ආගන්තුක සත්කාර කර්මාන්තවල ජයග්රහණ හා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන කලාපීය වේදිකාවක් බවට පත්ව තිබේ.


