AI සංවර්ධනය පිළිබඳව ජනපති සාකච්ඡා පවත්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී මෙටා (ෆේස්බුක්) සඳහා ගෝලීය කටයුතු පිළිබඳ සභාපති නික් ක්ලෙග් හමුවූ අතර අන්තර්ජාලය හරහා වෛරී ප්‍රකාශ සහ ව්‍යාජ ප්‍රකාශයන්ට එරෙහිව සටන් කිරීම සඳහා රජයේ නව මුල පිරීම් අවධාරණය කළේය.

යෝජිත පනත් කෙටුම්පත මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නිශ්චිත කරුණු අභියෝගයට ලක් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඉඩ සැලසෙන බවත්, පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී වැඩිදුර සංශෝධන සලකා බැලිය හැකි බවත් ඔහු අවධාරණය කළේය.

විවෘත මූලාශ්‍ර තාක්ෂණයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘත්‍රිම බුද්ධියේ මෙටා හි දියුණුව පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කරන ලදී.

කෘත්‍රිම බුද්ධි (AI) ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලංකා රජය සහ මෙටා අතර විභව සහයෝගීතාවයන් දෙපාර්ශවයම ගවේෂණය කළහ.

සාකච්ඡා කරන ලද එක් යෝජනාවක් වූයේ AI තාක්‍ෂණය දියුණු කිරීම අරමුණු කරගත් මෙටා සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල අතර සහයෝගීතා වැඩසටහනක් සංවර්ධනය කිරීමයි.

ජනාධිපති වික්‍රමසිංහ මහතා තම අවධානය යොමු කළ යුතු මූලික ක්ෂේත්‍ර දෙක අවධාරණය කළේය: රට තුළ AI අංශයේ වර්ධනය පෝෂණය කිරීම, විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සහ දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ අරමුණින් දත්ත මත පදනම් වූ මුලපිරීම් සඳහා සහාය වීමට AI භාවිතා කිරීම.

ජනාධිපතිවරයා සමඟ දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරකොඩි සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *