කටුනායක ගුවන්තොටුපළට ඇතුල්වීමේ කවුන්ටර 20ක්

මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සීඝ්‍රයෙන් වැඩි වෙමින් පැවතීම පිළිබඳව අවදානය යොමුකර ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කරමින් කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ නව කවුන්ටර  20 ක් එකතු කිරීමට තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍යය පවසයි.

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කළ බවත් පහසුකම් වැඩිදියුණු කර වෙනත්   ජාත්‍යන්තර  ගුවන් සමාගම්වලට ද  මෙරට ගුවන්තොටුපොළට ආරාධනා කිරීමට තීරණය කළ බවත් එම අමාත්‍යංශය කීය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණවලය එළඹුණි.

වසරකට මිලියන 12 ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරන අතර ඊට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා දුන් බවත් මෙම සියලු කටයුතු සංචාරක ව්‍යාපාරය හා බැදී තිබෙන බැවින් මෙරට ප්‍රධානතම ආදයම් මාර්ග අතර ඇති සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ඒමට මෙම පියවරයන් ඉවහල් වන බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.  පෙරේරා, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම්, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සභාපති චීෆ් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම යන මහත්වරු ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම විශේෂ සාකච්ඡාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *