STF කොටුකරගත් අයිස් ජාවාරම

දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් තුළ සඟවා කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

එහිදී ප්‍රථමයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී චොකලට් දවටනවල අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ දැනට ඩුබායි හි සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නිපුණ සහ නන්දසේන යන පුද්ගලයින්ගේ අනුදැනුම මත මෙම ජාවාරම සිදුකර ඇති බවටය.

මෙහිදී සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී ඉන් එක් ජාවාරම්කරුවෙකුට අයත් වත්තල සහ ගනේමුල පිහිටි නිවාස පිළිබඳව තොරතුරු ද විශේෂ කාර්ය බළකාය අනාවරණය කරගෙන තිබේ.

මේ අතර එහිදී අනාවරණය වූ වැඩිදුර තොරතුරු මත සිය සූක්ෂම ලෙස සිය ගමන්මළු තුළ සඟවා ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක වෙත අයිස් මත්ද්‍රව්‍ය රැගෙන එන යුවළක් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව අදාළ සැකකාර යුවළ සිය මෝටර් රථයෙන් ගමන්කරමින් සිටියදී කටුනායක පොලිස් වසමේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් පවසා ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් සහ රසකැවිලි තුළ සඟවා ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක දක්වා මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බවය.

එසේම ඔවුන් විවිධ අවස්ථාවලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 සහ කිලෝ 5 බැගින් මෙලෙස මෙරටට රැගෙනවිත් ඇති බවද පොලිස් විශේෂ කාර්ය බළකාය අනාවරණය කරගෙන ඇත.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එලෙස තමන් විසින් මෙරටට ගෙන එනු ලැබූ මත්ද්‍රව්‍ය මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ජාවාරම්කරුවන් වෙත ලබාදෙන බවය.

පසුව ඔවුන් ලබාදුන් තොරතුරු මත හෝටලයක කාමරයක් පරීක්ෂා කිරීමේදී තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක ප්‍රමාණයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

ඒ අනුව මෙම වැටලීමේදී සොයාගෙන ඇති සමස්ත අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 9ක් වන අතර එහි වෙළෙඳපොළ වටිනාකම කෝටි 10කට ආසන්න බවට වාර්තාවෙයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කටුනායක දී අත්අඩංගුවට ගත් සැකකාර යුවළ සහ කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *