කොළඹ සරසවියේ වැට ගැලවූ හොරාට දඬුවම 18ට

කොළඹ විශ්ව විද්‍යාලයේ  ක්‍රීඩා පිටියේ යකඩ වැට ගලවාගෙන ගියේ යැයි කියන සංචාරක සොරා, අදාල චෝදනාවන්ට වරදකරු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (01)නියෝග කළේය.

විවිධ ප්‍රදේශවල  සංචාරය කරමින් සොරකමේ නිරත වූයේ යැයි චෝදනා කරමින්  කුරුඳු වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්නපුරේ සෙල්ව පෙරුමල් ශිවා නැමැති පුද්ගලයා මෙසේ වරදකරු කරනු ලැබීය.

විත්තිකරුගේ පෙර වැරදි වාර්තාවක් කැඳවන ලෙසට පොලිසියට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම පෙරවැරදි වාර්තාව ලැබුණු පසුව  දඬුවම් නියම කරන බව දන්වා සිටියේය.

සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ යකඩ වැටේ යකඩ බාර් සොරා ගැනීමට එරෙහිව කුරුදු වත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක බණ්ඩාර සේනානායක මහතා මෙම නඩුව ගොනුකර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයෙන් සමන් රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර අදාළ චෝදනාවන්ට තමන් වැරදිකරු බවට සැකකරු ප්‍රකාශ කිරීම හේතුවෙන් දඬුවම් නියම කිරීම ලබන 18 දිනට නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *