ආශ්‍රිතයින්ගේ මාරයා වෙන්න එපා…!

මෙරට තුළ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹා යාම හා ඔවුන් හඳුනාගැනිමේ කටයුතු පවා සිදුකිරීමට අසීරු වී ඇති බවට ඔවුන් සඳහන් කරයි.

එවන් තත්ත්වයක් තුළ ආසාදිතයින්ගේ තොරතුරු ලබාගැනීමට යෑමෙන් බොහෝ තැන්වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද ආසාදිතයින් බවට පත්ව ඇතැයි තොරුතුරු වාර්තා වේ.

එම අවිවේකී වුත් අවදානම් සහිත වුත් ජීවිතයට මුහුණ දී සිටින මහජන පරීක්ෂකවරයෙක් “අද දෙරණ” ට හමුවිය. ඒ හොරණ නගරසභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ජී.එන්. කුමාර මහතා ය.

තමා ජීවිතයේ අත්දකිමින් සිටින කටුකත්වය පිළිබඳ ඔහු සඳහන් කර සිටියේ මෙවන් අදහසකි.

“ඇත්තටම අපි ජීවිතයේ කටුක අත්දැකීම් ප්‍රමාණයක් මේ දිනවල විඳිනවා. ඇත්තටම ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කොවිඩ් ආදාහනය. කොවිඩ් ආදාහන මේ වන විට 167ක් හොරණ නගර සභාවේ ආදාහනාගාරයේ සිදුකර තිබෙනවා මුදල් අයකිරීමකින් තොරව. අද දිනයේ ත් කොවිඩ් ආදාහන 7ක් තියෙනවා. අපි දිවා රාත්‍රියේ එක දිගට අපේ සේවකයින් මහන්සි වෙනවා කොවිඩ් ආදාහන සඳහා. ඇත්තටම කොවිඩ් රෝගය නිසා ඉතා විශාල ප්‍රමාණයක් මියයනවා කියලා දැනටමත් දන්නවා ඇති. මේක පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ රජයේ හෝ සෞඛ්‍ය අංශයේ හෝ අනෙක් ආයතන මත නෙමෙයි. ඔයාලගේ කැපවීම මතයි. කරුණාකරලා සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න. මරණයක් වුණාට පස්සේ ආගමික කටයුතු කරන්න හෝ ඥාතීන්ට දැක ගන්න විදියක් නෑ. ඔයාලගේ ආශ්‍රිතයින්ගේ මාරයා බවට පත්වෙන්න එපා. කරුණාකරලා සෞඛ්‍ය පුරුදු පිළිපඳින්න. අපි ඇත්තටම ගොඩක් වෙහෙසට පත්වෙලා තියෙන්නේ. ඔයාලගේ කැපවීම මතයි අනාගතය රඳා පවතින්නේ. මේ නගරය විශාලා මහනුවර බවට පත්කරන්න එපා. හිතන්න. හිතුවේ නැත්නම් අනාගතයක් නෑ. අපිට පුළුවන් මේක පාලනය කර ගන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *