වලයාකාර සූර්ය ග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාව

වසරේ තෙවැනි සහ අවසාන සූර්ය ග්‍රහණය දෙසැම්බර් මස 26 වැනිදා(හෙට) සිදුවීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කරයි. ඒ නැගෙනහිර අර්ධගෝලය කෙන්ද්‍ර කරගනිමිනි. කෙසේ වුවද වසරේ එකම වලයාකාර සූර්යග්‍රහණය  මෙයයි. පූර්ණ සූර්ය ග්‍රහණයකදී මෙන්ම වලයාකාර සූර්ය

ග්‍රහණයකදී සිදු වන්නේද, සඳ සූර්යාට ඍජුව ඉදිරියෙන් පිහිටීමයි. නමුත් වලයාකාර සූර්ය ග්‍රහණයක විශේෂත්වය වන්නේ, සඳේ දෘශ්‍ය විෂ්කම්භය සූර්යාගේ දෘශ්‍ය විශ්කම්භයට වඩා කුඩා වීමයි.  මෙමගින් සඳේ ඡායව විසින් සූර්යාලෝකයේ වැඩි ප්‍රාමාණයක් ආවරණය කරන නිසා සූර්යාලෝකය සිහින් වළල්ලක ස්වරූපයෙන්  දිස්වේ.

මේ වසරේ ප්‍රථම සූර්යග්‍රහණය සිදුවූයේ ජනවාරි මස 6 වැනිදාය. දෙවැන්න 2019 ජුලි මස 2 වැනිදා වාර්තා විය. ඒ අවස්ථා දෙකම පූර්ණ සූර්යග්‍රහණ ලෙස සැලකේ. 26 වැනිදා සිදු වීමට නියමිතව ඇත්තේ වලයාකාර සූර්යග්‍රහණයක් බැවින්,  නියමිත ආරක්‍ෂිත ඇස් ආවරණ නොමැතිව  සූර්ය ග්‍රහණය නැරඹීම, අර්ධ හෝ පූර්ණ අන්ධභාවය ඇති කිරීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවා ඇත.

වලයාකාර සූර්යග්‍රහණය සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය,ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, උතුරු මරියාන දූපත් සහ ගුආම් ආදී රටවල සමහර ප්‍රදේශවලට දෘශ්‍යමාන වේ. යාපනය ඇතුළු ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලට වලයාකාර සූර්යග්‍රහණයේ විවිධ අවස්ථා පහත වේලාවන්හීදී නිරීක්ෂණය කළ හැක.

·        අර්ධ සූර්යග්‍රහණය ඇරඹීම

පෙ.ව.8:09:03

·        වලයාකාර සූර්යග්‍රහණය ඇරඹීම

පෙ.ව 9:33:57

·        උපරිම අවස්ථාව

පෙ.ව 9:35:30

·        වලයාකාර සූර්යග්‍රහණයේ අවසානය

පෙ.ව 9:37:09

·        අර්ධ සූර්යග්‍රහණයේ අවසානය

පෙ.ව 11:21:14

වලයාකාර සූර්යග්‍රහණය සිදු වීමට නියමිතව ඇත්තේ, 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදු වූ සුනාමි ව්‍යසනයේ 15 වැනි සංවත්සරය දිනටම වීමත් විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published.