තෙල් නැව් ප්‍රමාද ගාස්තු කපන්න කොළොන්නාවේ සිට වරායට අලුත් නලයක්

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, ඉන්ධන ගබඩා හා බෙදාහැරීමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ විදුලිබල සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම සඳහා 2027 අයවැය මඟින් දැවැන්ත යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.
ඊයේ (12) පාර්ලිමේන්තුව හමුවේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, හදිසි අවස්ථාවකදී පවා රටට බාධාවකින් තොරව ඉන්ධන සැපයීම සහතික කිරීම උදෙසා දින 45කට ප්‍රමාණවත් ඉන්ධන තොග රැස්කර තබාගත හැකි පරිදි මෙරට ඉන්ධන ගබඩා ධාරිතාව පුළුල් කරන බවයි.
මුතුරාජවෙල සහ කොළොන්නාවේ දැවැන්ත තෙල් නල ව්‍යාපෘති
මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) දක්වා ගුවන් යානා ඉන්ධන (Jet Fuel) ප්‍රවාහන නල මාර්ගයක් ඉදිකිරීම සහ මෙට්‍රික් ටොන් 92,000ක ධාරිතාවකින් යුත් නව ඉන්ධන ගබඩා පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 22.34ක මුදලක් වෙන්කර තිබේ.
එමෙන්ම, රුපියල් මිලියන 16,332ක වියදමින් ක්‍රියාත්මක කිරීමට නියමිත කොළොන්නාව සිට කොළඹ වරාය දක්වා වන නව තෙල් නල මාර්ග ව්‍යාපෘතිය සඳහා මේ වන විටත් ටෙන්ඩර් කැඳවා ඇත. මාස 18ක් ඇතුළත වැඩ නිමකිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය හරහා නෞකාවලින් ඉන්ධන ගොඩබෑමට ගතවන කාලය පැය 96 සිට පැය 48 දක්වා අඩකින් අඩුකිරීමට නියමිතය. එමඟින් දැනට ප්‍රමාද වන සෑම දිනකටම නැව් සමාගම් වෙත ගෙවීමට සිදුව ඇති අමෙරිකානු ඩොලර් 30,000ක පමණ දැවැන්ත ප්‍රමාද ගාස්තු (Demurrage costs) ඉතිරි කරගැනීමට හැකිවනු ඇත.
විදුලි පාරිභෝගිකයින්ට නොමිලේ ‘ස්මාර්ට් මීටර්’ සහ සෝලාර් සහන
විදුලි ඒකක 180ට වඩා වැඩියෙන් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින් 300,000ක් වෙත නොමිලේ ‘ස්මාර්ට් විදුලි මීටර්’ (Smart Electricity Meters) ලබාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා නිවේදනය කළේය. ඊට අමතරව ඒකක 120ට වැඩියෙන් විදුලිය භාවිත කරන ලංකා විදුලි සමාගමේ (LECO) සියලුම පාරිභෝගිකයින්ටද නොමිලේ ස්මාර්ට් මීටර් හිමිවනු ඇත.
තවද, නිවාසවල නව වහල මත සූර්ය බල පද්ධති සමඟ බැටරි ගබඩා පද්ධති සවිකිරීමේදී උපරිම කිලෝවොට් පැය 10ක් දක්වා කිලෝවොට් පැයකට රුපියල් 25,000 බැගින් (උපරිම රුපියල් 250,000ක් දක්වා) සහනාධාරයක් ලබාදීමට රුපියල් මිලියන 3,500ක් වෙන්කර ඇති අතර, සූර්ය බැටරි ආනයනයේදී අයකළ 10%ක PAL බද්දද ඉවත් කිරීමට යෝජනා කර තිබේ.
රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, ඉන්ධන බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සහ ජාතික විදුලි පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය සාර්ථකව ඒකාබද්ධ කිරීම මෙම අයවැය යෝජනාවල මූලික අරමුණයි.



