දඩ කොලේ FB දැම්මාට ඉෂ්ඨ රූප දඩයට අමතරව තවත් නඩුවක් වැටෙන ලකුණු

මෝටර් රථයක ඉදිරිපස තබා තිබු “ඉෂ්ඨ රූපයක්” හේතුවෙන් මරදාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙන තිබෙන කරුණු වැරදි අර්ථකතනයක් සහිත බව පොලිසිය පවසනවා.

කොළඹ නාගරික පොලිස් රථ වාහන අංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි චුලා කොඩිතුවක්කු සඳහන් කලේ මෙම දඩ පත්‍රිකාව නිකුත් කරන ලද වාහන හිමිකරු ඔහුගේ කාර් රථයේ ඉදිරිපස වීදුරුව ආසන්නයේ ඇති පැති කණ්නාඩිය අසල ප්ලාස්ටික් මිදී පොකුරක් එල්ලා තිබු බැවින් එය රථ වාහන පනතේ දක්වා ඇති වැරැද්දක් නිසා මරදාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් අවවාද කොට දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇති බවයි. ඒ එම ප්ලාස්ටික් මිදී පොකුර ඉවත් කොට පොලිසියට වාහනය රැගෙන එන ලෙස දන්වමින්.

මෝටර් රථ ආඥා පනතේ ඇති වගන්ති අනුව ඉදිරි ‌පෙනීම අවහිර වන ලෙස තබා තිබෙන ඉෂ්ඨ රූප සහ අනෙක් ද්‍රව්‍යයන් ඉවත් කිරීමට පොලිසියට බලය පැවරී ඇති අතර ඒ හේතුවෙන් දඩ පත්‍රිකාවේ වැරැද්දේ ස්වභාවය  යන තීරුවේ “ඉෂ්ඨ රූප සහිතව ධාවනය” යනුවෙන් අදාළ පොලිස් නිලධාරියා සටහන් කොට ඇති බවයි පොලිස් අධිකාරී චුලා කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

නමුත් මෙම වැරැද්ද සිදුකරනු ලැබූ පුද්ගලයා විසින් තමන්ට පොලිසියෙන් නිකුත් කරන ලද දඩ පත්‍රිකාවේ ජයාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් “ඉෂ්ඨ රූප” යන වචනය වැරදි ආකාරයෙන් තේරුම් ගත් පිරිස් එය වාහනයේ ඉදිරිපස තබා තිබෙන කුඩා බුදු පිළිමයක් හේතුවෙන් පොලිසිය විසින් දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇති බවට තේරුම් ගෙන ඇති බවයි කොළඹ නාගරික කොට්ඨාෂය භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කලේ.

කෙසේ වුවත් අදාළ වැරැද්ද සිදුකරනු ලැබූ පුද්ගලයා මහජනතාව කැළඹීමක් ඇතිවන ආකාරයේ කටයුත්තක් සිදුකර ඇති බැවින් ඔහුට ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි නාගරික පොලිස් රථ වාහන කොට්ඨාෂය භාර පොලිස් අධිකාරි චුලා කොඩිතුවක්කු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

පොලිසිය විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකාව පහතින් දැක්වේ

nethnews

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *