මීටර් 30,607ක උසකින් වැටුණු ජංගම දුරකථනයක් නව ගිනස් ලෝක වාර්තාවක් තබයි

මීටර් 30,607ක් (අඩි 100,418ක් සහ අඟල් 8ක්) ඉහළ අහසේ සිට බිමට හෙළනු ලැබූ ජංගම දුරකථනයක් කිසිදු හානියකින් තොරව බේරී, ස්වභාවික භූමි ප්‍රදේශයක් මත ජංගම දුරකථනයක් ආරක්ෂිත කවරයක් සහිතව හෙළීම සම්බන්ධයෙන් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ ජංගම දුරකථන ආරක්ෂිත කවර නිෂ්පාදන සමාගමක් වන RHINOSHIELD PTE. LTD. සහ Sent Into Space LTD. විසිනි. ඔවුන් ස්වීඩනයේ කිරුණාහි පිහිටි Esrange Space Center ආසන්නයේදී පසුගිය ජුනි 24 වැනිදා බැලූනයක් ආධාරයෙන් ජංගම දුරකථනයක් ඉහළ අහසට රැගෙන ගොස් එහි සිට පහළට හෙළා තිබේ.

RHINOSHIELD AirX කවරයකින් ආරක්ෂා කර තිබූ දුරකථනය, ජනශුන්‍ය ප්‍රදේශයකට වැටීමෙන් අනතුරුව කිසිදු හානියකින් තොරව සොයාගෙන ඇත.

මෙම දුරකථනය හෙළා ඇත්තේ ස්ට්‍රැටෝස්ෆියර් කලාපයේ සිට වන අතර, එය සාමාන්‍ය වාණිජ ගුවන් යානා පියාසර කරන උස මෙන් තුන් ගුණයකටත් වැඩි වන අතර, එවරස්ට් කන්දේ උස මෙන් තුන් ගුණයකටත් වැඩි උසකි.

RHINOSHIELD සමාගමේ Brand Experience Manager Mujou Hsiao පැවසුවේ, AirX කවරයේ හැකියාවන් උපරිම සීමාව දක්වා පරීක්ෂා කරන ලෙස සමාගමේ නිර්මාතෘ Eric Wang කළ අභියෝගයකින් මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ බවයි.

මුලින් සාමාන්‍ය ආකාරයේ වැටීම් පරීක්ෂණ මාලාවක් සිදු කිරීමට සැලසුම් කර තිබුණද, පසුව ස්ට්‍රැටෝස්ෆියර් මට්ටමේ සිට දුරකථනයක් හෙළීමේ අභියෝගය භාර ගැනීමට තීරණය කළ බව ඔහු පැවසීය.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තනි ද්‍රව්‍යයකින් නිපදවා ඇති AirX කවරය, මෝටර් රථවල භාවිත වන වායු බෑග් සහ ක්‍රීඩා සපත්තු සඳහා භාවිත කරන කම්පන අවශෝෂණ වායු කුෂන්වලින් ආභාසය ලබා නිර්මාණය කර තිබේ.

වාර්තා පිහිටුවීමේ උත්සාහයට පෙර, ස්ට්‍රැටෝස්ෆියර් කලාපයේ පවතින තත්ත්වයන් අනුකරණය කරමින් අධික ශීත උෂ්ණත්ව සහ වායු පීඩන පරීක්ෂණද සිදු කර ඇත.

ගිනස් ලෝක වාර්තා නීති අනුව මෙම උත්සාහයේදී පැරෂුටයක් භාවිත කිරීමට අවසර නොතිබූ අතර, ජංගම දුරකථන කවරය සෘජුවම පොළොව හා ගැටිය යුතු විය.

දුරකථනය බිමට වැටීමෙන් පසු එය නිරීක්ෂණය කර තිබුණද, විශාල ජනශුන්‍ය භූමි ප්‍රදේශය හේතුවෙන් එය සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායමට පැය පහකට වැඩි කාලයක් ගත වී තිබේ.

මෙහෙයුම සඳහා Sent Into Space සමාගමද සහාය ලබාදී ඇත. දුරකථනය හෙළීම සඳහා ජනශුන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන තිබුණේ පොළොව මත සිටින පුද්ගලයන්ට ඇති විය හැකි අවදානම අවම කිරීම සඳහාය.

මෙම උත්සාහයේදී අනපේක්ෂිත පැති සුළං, පහළට පැමිණීමේ වේගය සහ ගොඩබෑමේ තත්ත්වයන් වැනි අභියෝගවලට මුහුණදීමට සිදුවූ බව Hsiao පැවසීය.

මෙම වාර්තාව ගිනස් ලෝක වාර්තා විනිසුරු Juliet Dawson විසින් RHINOSHIELD සහ Sent Into Space සමාගම් වෙත නිල වශයෙන් පිරිනමා තිබේ.

සමාගම් පවසන්නේ මෙම වාර්තාව මගින් පරිසර හිතකාමී ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තනි ද්‍රව්‍යවලින් නිෂ්පාදිත භාණ්ඩවලට ඉහළ කල්පැවැත්මක් ලබාදිය හැකි බව පෙන්වීම තම අරමුණ වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *