2026 සිට 2029 දක්වා සංවර්ධන ව්‍යාපෘති සඳහා සාකච්ඡා

2026 සිට 2029 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට අදාළව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) දිගුකාලීන සැලසුම්වලට ඇතුළත් කළ යුතු ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ADB අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ADB අධ්‍යක්ෂ ෂැනන් කොව්ලින් මහත්මියගේ සම සභාපතිත්වයෙන් මෙම සාකච්ඡාව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කළේ ඔක්තෝබර් 05 සහ 06 යන දිනවල පැවැත්වීමට නියමිත ADB වැඩසටහන් සමාලෝචනයට පෙර මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි. එම සමාලෝචනයේදී 2027 වසර සඳහා බැංකුවේ වාර්ෂික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

ADB හි දිගුකාලීන ව්‍යාපෘති සැලසුම් සඳහා ඇතුළත් කළ යුතු සංවර්ධන ව්‍යාපෘති අතරින් ප්‍රමුඛත්වය ලබාදිය යුතු ව්‍යාපෘති හඳුනා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.

ADB අරමුදල් යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් සම්බන්ධයෙන් රජයේ හිමිකාරීත්වය තහවුරු කිරීම සහ රජයේ ක්‍රියාදාමයන් හා ADB ක්‍රියා පටිපාටි අතර පැහැදිලි හා කාර්යක්ෂම සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

සීමිත සහනදායී මූල්‍ය සම්පත් සහ තාක්ෂණික සහාය ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.

එමෙන්ම, රටේ රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේදී පවතින අභියෝගවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය කඩිනම් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *