“මුදල් උපයන හැටි විතරක් නොවෙයි, වගකීමෙන් කටයුතු කරන හැටිත් දරුවන්ට ඉගැන්විය යුතුයි”

ශ්‍රී ලංකාවේ නව විෂයමාලා ප්‍රතිසංස්කරණ යටතේ 2027 වසරේ සිට 6 ශ්‍රේණියේ සිසුන් සඳහා ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ඇතුළත් නව විෂයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුම ලබාදීම නව විෂයමාලා ප්‍රතිසංස්කරණවල අරමුණක් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස 2027 වසරේදී සියලුම 6 ශ්‍රේණියේ සිසුන් සඳහා නව විෂය හඳුන්වාදීමට නියමිත බව ඇය පැවසුවේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති සීනුව නාද කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

පාසල් සිසුන් සහ තරුණ පරපුර කුඩා වියේ සිටම ව්‍යවසායකත්වය සහ ආයෝජනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීම සඳහා ක්‍රියාත්මක වන Stock Market Game සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ වැනි වැඩසටහන් පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කළාය.

මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනය ලබාදීමේදී ආචාරධර්ම සහ වගකීම් සහගත මූල්‍ය හැසිරීම පිළිබඳවද දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඇය අවධාරණය කළාය.

මුදල් උපයා ගැනීමේදී වෙනත් පුද්ගලයන් සූරාකෑමට හෝ රැවටීමට කටයුතු නොකළ යුතු බවත්, ඒ වෙනුවට වගකීම් සහගතව හා ආචාරධර්මවලට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම තරුණ පරපුරට අවබෝධ කරදිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *