ශ්‍රී ලංකාව පුරා රජයේ ද්විතීයික පාසල් 2,345කට මේ වන විට නව අධිවේගී ෆයිබර් අන්තර්ජාල සම්බන්ධතා ලබාදී ඇති අතර, 2027 සහ 2028 වසරවලදී දිවයිනේ සියලුම ප්‍රාථමික පාසල් 3,832කටද මෙම පහසුකම ලබාදීමට සැලසුම් කර තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ක්‍රියාත්මක කරන “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙම ව්‍යාපෘතියේ අරමුණ දිවයින පුරා ද්විතීයික පාසල් 6,225කට අධිවේගී ෆයිබර් අන්තර්ජාල සම්බන්ධතා ලබාදීමයි.
වැඩසටහන ආරම්භ කිරීමට පෙර පාසල් 1,264කට දැනටමත් ෆයිබර් අන්තර්ජාල සම්බන්ධතා තිබූ අතර, මේ වන විට තවත් පාසල් 2,345කට නව සම්බන්ධතා ලබාදී තිබේ.
ඒ අනුව වැඩසටහන යටතේ තවදුරටත් ද්විතීයික පාසල් 2,616කට ෆයිබර් අන්තර්ජාල සම්බන්ධතා ලබාදීම සිදු කෙරෙමින් පවතී.
මේ වන විට නව සම්බන්ධතා ලබාදී ඇති පාසල් 2,345 අතරින් පාසල් 347ක් නැගෙනහිර පළාතේද, 334ක් වයඹ පළාතේද, 303ක් සබරගමුව පළාතේද, 300ක් දකුණු පළාතේද පිහිටා තිබේ.
බස්නාහිර පළාතේ පාසල් 285කට, මධ්‍යම පළාතේ 275කට, ඌව පළාතේ 176කට, උතුරු පළාතේ 172කට සහ උතුරු මැද පළාතේ පාසල් 153කටද නව ෆයිබර් අන්තර්ජාල සම්බන්ධතා ලබාදී ඇත.
මේ අතර, 2026 අයවැය මගින් රු. මිලියන 150ක් වෙන් කර ඇත්තේ මෙම පාසල් සඳහා සීමා රහිත අන්තර්ජාල පැකේජ ලබාදීම සඳහාය. එක් පාසලක් සඳහා එම පැකේජයේ මාසික වියදම රු. 5,130ක් වේ.
වැඩසටහනේ මීළඟ අදියර යටතේ 2027 සහ 2028 වසරවලදී දිවයින පුරා ඇති සියලුම ප්‍රාථමික පාසල් 3,832කට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ.
අවසානයේ ශ්‍රී ලංකාවේ සෑම පාසලකටම අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
ඩිජිටල් අධ්‍යාපනය සහ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය ලබාදීම මෙන්ම ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල සිසුන්ට නවීන තොරතුරු තාක්ෂණ මෙවලම් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.


