2025/26 ආර්ථික සංගණනය යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දිවයින පුරා දත්ත රැස් කිරීමේ කටයුතු ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
ඔක්තෝබර් 1 වැනිදා ආරම්භ කළ මෙම සංගණන කටයුතු 2026 දෙසැම්බර් 15 වැනිදා දක්වා දිවයින පුරා සිදුකිරීමට නියමිතය.
නිවාස සහ ආයතන වෙත පැමිණෙන සංගණන නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ජාතික වැදගත්කමක් ඇති මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කරුණාරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ වත්මන් තත්ත්වය, ව්‍යුහය සහ ඉදිරි සංවර්ධන අවශ්‍යතා පිළිබඳ යාවත්කාලීන සහ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම මෙම සංගණනයේ අරමුණ බවයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික මඟපෙන්වීම යටතේ මෙම සංගණනය ක්‍රියාත්මක කෙරේ.
පෙර පැවති සංගණනවලදී මුද්‍රිත ප්‍රශ්නාවලි භාවිත කළද, මෙවර දත්ත රැස් කිරීම සඳහා පරිගණක ආධාරයෙන් සිදුකරන පුද්ගල සම්මුඛ සාකච්ඡා ක්‍රමවේදය (CAPI) සහ ටැබ් පරිගණක භාවිත කිරීමට නියමිතය.
සංගණනයේදී ගොවීන් සහ ගොවි කණ්ඩායම්, ඉඩම් සහ වගා කරන ලද භූමි ප්‍රමාණය, කෘෂිකාර්මික යෙදවුම්, පශු සම්පත් සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් පිළිබඳ තොරතුරු රැස් කිරීමට නියමිතය.
මෙම වැඩසටහන මගින් රටේ කෘෂිකාර්මික අංශයේ ඉදිරි සැලසුම් සහ සංවර්ධන කටයුතු සඳහා භාවිත කළ හැකි පුළුල් සහ විශ්වාසදායක දත්ත පද්ධතියක් සකස් කිරීමට අපේක්ෂා කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන්ම මහ කන්නය සහ 2026 යල කන්නය ආවරණය වන පරිදි යාවත්කාලීන කෘෂිකාර්මික දත්ත මෙහිදී රැස් කිරීමට නියමිතය.


