2024 යෝජනා සඳහා දිස්ත්‍රික් සංවර්ධන සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල එකඟතාව ලබා ගන්න- අගමැති

ඉදිරි වර්ෂයේදී පළාත් සභා මගින් ක්‍රියාත්මක කරන සියලුම යෝජනා දිස්ත්‍රික් සංවර්ධන හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ලැබිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නියෝග කර තිබේ.

ඒ අනුව ඒ ඒ ක්ෂේත්‍රවල යෝජනා ඉතා කලින් ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල නෛතික බලය වැඩි කළ යුතු යැයි හැඟේ නම් යෝජනා ඉදිරිපත් කරන ලෙස සභාපතිවරුන්ට දැනුම් දුන් අගමැතිවරයා ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමඟ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

පළාත් සභා, පළාත් පාලන ආයතන සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව වේගවත් සංවර්ධන ගමනක් කරා ගමන් කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල වගකීම බව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

පළාත් පාලන ආයතන මේ වන විට මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තොරව පවතින අතර ඒවා නිලධාරීන්ගේ පාලනය යටතේ පවතින බැවින් ඒවා ජනතා කේන්ද්‍රීය බවට පත් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘති සඳහා යෝජනා හඳුනාගැනීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල ක්‍රියාකාරී දායකත්වය ඉතා වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *