2022 බදු සහනයෙන් කෝටි 98000ක් රජයට අහිමි වෙලා

රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පෙරේදා(01) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.

මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායම් ප්‍රමාණය 2022 මූල්‍ය වර්ෂයේ එකතු කරගෙන ඇති බදු ආදායමෙන් සියයට 56 ක් බව  වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ කැපවීමක් ඉටුකරමින් මුදල් අමාත්‍යාංශය පෙරේදා (01) බදු වියදම් ප්‍රකාශය ප්‍රසිද්ධ කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම් වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ ඇති එක් කැපවීමක් බවත් එම කැපවීම පසුගිය වසරේ මාර්තු මස ඉටුකළ යුතුව තිබුණු බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී අයි.එම්.එෆ් මීටරයට සිදුකළ යාවත්කාලීන කිරීමේදී මෙම කැපවීම ඉටුකර නොමැති කැපවීමක් ලෙස ඇතුළත් කළ බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

අන්තර්ජාතිකව පිළිගත් හොඳම ක්‍රමවේදයන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම මෙම වාර්තාවේ අරමුණ යැයි එම ප්‍රකාශයේ  දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *