2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේ දිවා භෝජනය සඳහා කාලය වෙන් කිරීමක් සිදු නොකරන අතර, 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය උදෑසන 10.00 සිට පස්වරු 5.00 දක්වා පවත්වනු ඇත. විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 2,678ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව හෙට පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. ඒ අනුව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනා පිළිබඳ විවාදය හෙට පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *