විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ සංවිධාන සහ නියාමන ආයතන ඒකාබද්ධ කරමින් ජාතික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඔක්තෝබර් 14 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනයට සමගාමීව, මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (12) පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අමාත්‍යාංශය සඳහන් කළේ, විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීම, නැවත භාවිතය සහ විද්‍යාත්මක ප්‍රතිචක්‍රීකරණය වැඩිදියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි. 2050 වන විට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය මට්ටමට ගෙන ඒමේ රජයේ ඉලක්කයට සහාය වීම ද එහි අරමුණකි.
මෙම වැඩපිළිවෙළ යටතේ ජාතික පාරිසරික පනතට අනුව නිෂ්පාදකයාගේ පුළුල් කළ වගකීම (Extended Producer Responsibility – EPR) පිළිබඳ විධිවිධාන හඳුන්වා දීමට පියවර ගනිමින් සිටී. ඊට අමතරව, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ද සකස් කර ඇති අතර, එයට නුදුරේදීම අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ ඩයලොග් ආසියාටා සමාගම එක්ව දිවයින පුරා ක්‍රියාත්මක වන විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර තිබේ.
භාවිතයෙන් ඉවත් කළ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ ආරක්ෂිතව බැහැර කිරීම සඳහා පුද්ගලයන්ට සහ ආයතනවලට මෙම වැඩසටහන යටතේ පහසුකම් සලසා ඇත. ඒ සඳහා දිවයින පුරා පිහිටි සන්නිවේදන සේවා මධ්‍යස්ථාන සහ නම් කළ එකතු කිරීමේ මධ්‍යස්ථාන භාවිත කළ හැකිය.
මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලනය, කර්මාන්ත, වෙළෙඳාම, සෞඛ්‍යය, ඩිජිටල් ආර්ථිකය සහ පළාත් පාලනය සම්බන්ධයෙන් වගකීම් දරන රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව කටයුතු කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.
මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළු නියාමන ආයතන ද ප්‍රජා මට්ටමින් අපද්‍රව්‍ය එකතු කිරීම සහ වෙන් කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට දායක වනු ඇත.
පරිසර හිතකාමී හා නව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා ආනයනකරුවන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, විදුලි සංදේශ සමාගම්, අලුත්වැඩියා සේවා සපයන්නන් සහ ලියාපදිංචි ප්‍රතිචක්‍රීකරණ ආයතන ද මෙම වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කෙරේ.


