15 හැවිරිදි දැරිය විකිණීමේ මහමොළකරු පිළිබඳව පිළිබඳව තොරතුරු

15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරමට සම්බන්ධ වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මෙම දැනුම් දීම සිදුකළහ.

ඒ අනුව ප්‍රධාන සැකකරු විසින් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම හා අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වෙන් වෙන්ව පරීක්ෂණ සිදුකරන බව එම කාර්යාංශයේ අධිකරණයට දන්වා සිටියේය.

වැඩිදුරටත් අධිකරණය කරුණු දැක්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් එම සිද්ධියට සම්බන්ධ බාලවයස්කාර දැරිය නිරුවත් කොට ඇයගේ විවිධ ලිංගික දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදා හැර ඒවා විවිධ පුද්ගලයින්ට විකුණා එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු විසින් මුදල් උපයාගෙන ඇතැයි ද පෙන්වා දුන්නේය.

මෙලෙස අන්තර්ජාලයට මුදා හරින ලද අසභ්‍ය දර්ශන අඩංගු විනාඩි 05 සිට 10 දක්වා වූ වීඩියෝවක් නැරඹීම සඳහා එම සැකකරු විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් 5000 සිට රුපියල් 8000 දක්වා මුදලක් අයකර ගෙන ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

එම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් දුරකථන අංක හා සම්බන්ධතා ඔස්සේ ඊට අදාළ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන බවත් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ වින්දිත දැරිය ගණිකාවක් වශයෙන් තමා අධිකරණය කිසිසේත් නොසලකන බවය.

මේ අපරාධය පිළිබඳව පුළුල්ව පරීක්ෂණ පවත්වා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළාය.

මේ අතර  එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු, දෑරියගේ දැන්වීම් පළ කළ වෙබ් අඩවියේ හිමිකරු සහ එහි මුදල් පාලක යන සැකකරුවන් ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *