“ඉදිරියටත් විශ්වාසවන්ත හවුල්කරුවකු ලෙස සහාය දෙනවා” – IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන අවසන් වීමට ආසන්න වෙමින් තිබියදීත්, රටට අඛණ්ඩව සහාය ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළිත් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතා අනුව අනාගතයේදී නව මූල්‍ය පහසුකම්, ප්‍රතිපත්තිමය උපදෙස් හෝ ආයතනික ධාරිතා සංවර්ධනය හරහා සහාය ලබාදීමට සූදානම් බව IMF හි ආසියා හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය ප්‍රකාශ කළාය.

“අරමුදල ශ්‍රී ලංකාවට ඉතා කැපවීමෙන් සහාය දෙන හවුල්කරුවකු ලෙස දිගටම කටයුතු කරනවා” යැයි ඇය පැවසුවාය. ඉදිරියේදී ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ආකාරය තීරණය කරනු ලබන්නේ මෙරට බලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡා මත බවද ඇය අවධාරණය කළාය.

වත්මන් IMF වැඩසටහන යටතේ අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් ජේන්-චන්ද්‍රා මහත්මිය, සාර්ව ආර්ථික ස්ථාවරත්වය, රජයේ ආදායම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් සැලකිය යුතු දියුණුවක් ඇති වී තිබෙන බව පෙන්වා දුන්නාය.

“සාර්ව ආර්ථික තත්ත්වය බොහෝ සෙයින් වැඩිදියුණු වී තිබෙනවා. ආදායම් අනුපාතය දෙගුණ වී තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන්. අඛණ්ඩව කාර්තු 11ක් ආර්ථික වර්ධනය ධනාත්මකව පවතිනවා” යැයි ඇය සඳහන් කළාය.

පාලන ක්‍රමවේද සහ අනෙකුත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද දියුණුවක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් ඇය, සමස්තයක් ලෙස වැඩසටහනේ කාර්යසාධනය ශක්තිමත් මට්ටමක පවතින බව පැවසුවාය.

කෙසේ වෙතත්, ලබන මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත වත්මන් වැඩසටහන යටතේ තවදුරටත් ඉටු කළ යුතු වැදගත් කාර්යයන් පවතින බවද ඇය අවධාරණය කළාය.

හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් IMF කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ඔක්තෝබර් මස මුලදී පැමිණි බවත්, ඉදිරි සති කිහිපය තුළ එය IMF විධායක මණ්ඩලයේ සලකා බැලීමට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළාය.

වත්මන් වැඩසටහන අවසන් වීමට පෙර තවත් සමාලෝචන මෙහෙයුමක්ද පැවැත්වීමට නියමිතය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ මේ දක්වා ප්‍රතිසංස්කරණ හරහා ලබාගත් ප්‍රතිලාභ තහවුරු කරගැනීමේ වැදගත්කමද IMF නිලධාරිනිය අවධාරණය කළාය.

අනාගතයේදී IMF සහාය ලබාගැනීමේ හැකියාව පිළිබඳව අදහස් දක්වමින් ඇය පැවසුවේ, තවත් වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා බලධාරීන් සතු කාර්යයක් බවයි.

“නව මූල්‍ය පහසුකමක් ලබාදීම, ආර්ථික ප්‍රතිපත්ති නිරීක්ෂණයේදී වඩාත් සවිස්තරාත්මක ප්‍රතිපත්ති උපදෙස් ලබාදීම හෝ ආයතනික ධාරිතා සංවර්ධනය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ අරමුදලට ශ්‍රී ලංකාවට සහාය විය හැකියි” යැයි ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රමුඛතා සමඟ ගැළපෙන ආකාරයෙන් අඛණ්ඩව සහාය ලබාදීමට IMF සූදානම් බවද ඇය යළි අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඇය මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික සමුළු සමඟ සමගාමීව තායිලන්තයේ බැංකොක් නුවර අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *