හිටපු නගර සභාවේ සභාපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳට ඇප…

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තංගල්ල නගර සභාවේ හිටපු සභාපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ නෙත්මි හරින්දිකා සිල්වාට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළා.

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත් රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ පෙරේදා වීරකැටිය පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරයාගේ පුත්‍රයා රාජකාරියට බාධා කළ බවට බැදිගම හුවමාරුවේ අධිවේගී මාර්ග රාජකාරිවලට අනුයුක්තව සිටි පොලිස් සැරයන්වරයකු වීරකැටිය පොලිස් ස්ථානයට පසුගිය සතියේ කළ පැමිණිල්ලකට අනුව ඔවුන් පොලිසියට අවශ්‍යව තිබිණි.

පොලිසිය පවසන පරිදි හිටපු සභාපතිවරයා අනාරක්ෂිත ලෙස කැබ් රථයක පිටුපස ශීතකරණයක් පටවාගෙන බදාදා සවස අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් කොළඹට ඇතුළු වීමට සූදානම්ව සිටියදී එම ස්ථානයේ රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයකු ඔහුට දන්වා සිටියේ ය. එය අනාරක්ෂිත හා භයානක වූ අතර ඔහුට ඇතුළු වීමට ඉඩ දිය නොහැකි විය.

එම අවස්ථාවේදී කැබ් රථයේ සිටි සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ කෝපයට පත් වී පොලිස් සැරයන්වරයාගේ රාජකාරියට බාධා කිරීමට උත්සාහ කළ අතර ඔහුට පරුෂ වචනයෙන් වාග් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

සිද්ධියට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර පැමිණිල්ල මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියේය.

කෙසේ වෙතත්, ඔවුන් දින කිහිපයක් පොලිසිය මඟහරිමින් සිටියහ.

හිටපු සභාපති රවිඳු ද මීට පෙර ප්‍රකාශ කළේ එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු තමාගේ කමිසයෙන් ඇද පහරදීමට තැත් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *