සෝමාවතියට පුරාවිද්‍යා පර්යේෂණායතනයක්

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සහිත දෙමහල් මන්දිරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  විවෘත කෙරිණි.

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍ය වන්දනා කිරීමට සහ  අධ්‍යාපනික පර්යේෂණ කටයුතු වල යෙදෙන සියලුදෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබේ.

ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති  මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය  පහමුණේ ශ්‍රී සුමංගල නා හිමිගේ අනුශාසනා පරිදි රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම දෙමහල් මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ අධික්ෂණය යටතේ ඉදිකර ඇත.

ඓතිහාසික සෝමවතී පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා චෛත්‍ය අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සමන්විත නව දෙමහල් මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව වෙත ප්‍රථම පුෂ්පෝපහාරයද සිදු කළේය.

රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *