සූදු නියාමන අධිකාරී පනතට මුදල් කාරක සභා අනුමැතිය

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමැතිය දුන්නේ ය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර මේ මගින් ශ්‍රී ලංකාවේ  ඔට්ටු ඇල්ලීම සහ සූදු අ‍ායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සිදුවේ.
මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *